Friday, February 4, 2022

අල් කුර්ආනය යනු කුමක් ද ?

අල් කුර්ආනය යනු කුමක් ද ?

අල් කුර්ආනය

 

මෙම කෙටි හැඳින්වීම මගින් අල් කුර්ආනය පිළිබඳව මූලික කරුණු ඉදිරිපත් කර ඇත්තෙමු. මේ තුළින් අල් කුර්ආනයේ අර්ථයන් සත්‍ය යථාදර්ශනයකින් අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.

වහී හෙවත් දේව පණිවිඩ

අල්ලාහ්ගේ රසූල්වරයා වන නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ට ශුද්ධ අල් කුර්ආනය පහළ වූ මාධ්‍යය ‘වහී’ නම් වේ. අල් කුර්ආනය පිළිබඳව දැන ගැනීමට පෙර අප ‘වහී’ පිළිබඳව පැහැදිලි කර ගැනීම අනිවාර්යය වූවකි. අල්ලාහ් නිශ්චය වශයෙන්ම මිනිසා පරීක්ෂණයට ලක් කරනා අටියෙන්ම මැව්වේය. ඒ පිළිබඳව ඔහු ශුද්ධ අල් කුර්ආනයේ නොයෙක් ස්ථානයන්හි සඳහන් කර ඇත.

ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ

“ඔහු නුඹලාව, නුඹලා අතුරින් කවරෙකු ක‍්‍රියාවෙන් උතුම් ද යන්න පිරික්සනු පිණිස ඔහු මරණය හා ජීවිතය නිර්මාණය කළේය. තවද ඔහු අති බලසම්පන්නය අති ක්ෂමාශීලීය.”(අල් කුර්ආන් 67:2)

තවද මෙලොව ඇති සියලු දේ මිනිසා සඳහා නිර්මාණය කර ඇති බව ද ඔහු අල් කුර්ආනයෙහි සඳහන් කරයි.

ہُوَ الَّذِیۡ خَلَقَ لَکُمۡ مَّا فِی الۡاَرۡضِ جَمِیۡعًا

“නුඹලා වෙනුවෙන් මිහිතලය මත ඇති සියලු දෑ මැව්වේ ඔහුමය.” (අල් කුර්ආන් 2:29)

මේ හේතුවෙන් මිනිසා තමා සඳහා අල්ලාහ් නිර්මාණය කරන ලද දෑ අල්ලාහ්ගේ අභිමතාර්ථය පරිදි පරිහරණය කිරීමට වග බලා ගත යුතුය. එම සර්ව බලධාරියාගේ උදහසට ලක්වන කිසිවක් නොකිරීමට ද උත්සාහ කළ යුතුය.මෙය අවබෝධ කර ගැනීම සඳහා අපට ‘ඉල්ම්’ හෙවත් දැනුම අවශ්‍යය වේ. එබැවින් මෙලොව ලෞකික සම්පත් වල අස්ථීර බව හා එහි යථාර්ථය ද, එහි නියම වටිනාකම ද, අවබෝධ කර ගන්නා තුරු කිසිදු පුද්ගලයෙකු ඒවා නිසි අන්දමින් පරිහරණය නොකරනු ඇත. තවද එහි ගැබ් වී ඇති අනිත්‍යභාවයෙන් හා අනතුරුදායක මුළාවෙන් ඔහු ගැලවෙන්නේද නැත. එසේම ලෞකික ජීවිතයෙහි කිනම් ක‍්‍රියාවක් කිරීම හේතුවෙන් අල්ලාහ්ගේ තෘප්තිය ලැබේද යන්න අවබෝධ කර එහි නිසි ලෙස නිරත වීම පිළිබඳව ද කුමන ක‍්‍රියාවන් කිරීම හේතුවෙන් අල්ලාහ්ගේ උදසහ ඇති වන්නේ දැ’යි අවබෝධ කර එයින් දුරස්ථ වීම පිළිබඳව ද මිනිසා වටහා ගන්නා තුරු අල්ලාහ්ගේ තෘප්තියට අනුව ජීවත් විය නොහැක.තවද අල්ලාහ් මිනිසා මැවීමත් සමග විශේෂිත කරුණු තුනක් මවා ඇත. එමගින් ඉහත සඳහන් දෑහි දැනුම ඔහුට ලබා ගත හැක.
ඒවා නම්,

  1. පංචේන්ද්‍රියන් වන දෑස, දෙසවන, නාසය, දිව හා ස්පර්ෂය.
  2. විචක්ෂණ බුද්ධිය.
  3. ‘වහී’ නම් වූ දේව පණිවිඩ.

මිනිසා ඇතැම් දෑ තමාගේ පංචේන්ද්‍රියන් මගින් දැන ගන්නේය. තවත් ඇතැම් දෑ විචක්ෂණ බුද්ධිය මගින් දැන ගන්නේය. මෙම කරුණු දෙක මගින් ලබා ගත නොහැකි දෑ ඔහුට ලබා ගත හැකි වන්නේ වහී නම් දේව පණිවිඩ මගිනි.
පංචේන්ද්‍රියන් යැයි හඳුන්වන මෙම ඉන්ද්‍රියයන් පහ ඉතා ප‍්‍රබල වුවද ඒවාට කි‍්‍රයාත්මක විය හැකි සීමාවන් ඇත. එම සීමාවන් ඉක්ම වූ විට එම ඉන්ද්‍රියයන් බල රහිත වේ. උදාහරණ වශයෙන් යම් වස්තුවක වර්ණය දැන ගැනීමට කෙනෙකුට විචක්ෂණ බුද්ධිය යෙදිය නොහැක. ඉන්ද්‍රියයන් අතුරින් ඉතාම ප‍්‍රබල ඉන්ද්‍රියය වන්නේ මිනිසාගේ බුද්ධිය වුවද යම් දැයක වර්ණය දැන ගැනීමට නම් එය දෑසින්ම බැලිය යුතුය. එසේ නොමැතිව කෙනෙකුගේ ඉදිරියේ ඇති බිත්තියේ පාට ‘මම ඇස් වසාගෙන හෝ අඳුරේ සිට මාගේ බුද්ධියේ බලයෙන් කියමි’ යැයි කෙනෙකු පැවසීම කළ නොහැක්කකි. එසේම යමක රස දැන ගැනීමට සවන හෝ බුද්ධිය හෝ දෑස උපයෝගී කිරීමෙන් කිසිදු ඵලක් ඇති නොවන්නේය. මේ සඳහා ඉන්ද්‍රියයන් අතුරින් කුඩා කොටසක් වන දිව උපයෝගී කර ගත යුතුය.
තවද ඇතැම් විට විචක්ෂණ බුද්ධියෙන් කළ හැකි දැයක් පංචේන්ද්‍රියන් මගින් කළ නොහැකි තත්ත්වයකට පත් වේ. උදාහරණ වශයෙන් කෙනෙකු යම් වස්තුවක් තැනුවේ කවුරුන් දැ’යි දැන ගැනීමට ඔහුගේ සංවේදී බලයන් උපයෝගී කළ නොහැක. එය ඔහුට දැන ගත හැක්කේ ඔහුගේ විචක්ෂණ බුද්ධිය මගින් පමණි. එනම් කෙනෙකු එක් බිත්තියක් තනා ඇත්තේ කවුරුන් දැ’යි තමාගේ සංවේදී බලයන් හසුරුවන ඉන්ද්‍රියයන් වන ස්පර්ෂ කිරීම හෝ ආග‍්‍රහණය කිරීම මගින් හෝ දැනගැනීමට නොහැක. ඒ සඳහා ඔහු තම විචක්ෂණ බුද්ධිය භාවිත කළ යුතුමය.
මේ අනුව විචක්ෂණ බුද්ධිය මෙන් පංචේන්ද්‍රියන් ද සීමා සහිත වන අතර මෙම විෂයන් දෙක පමණක් කිසි කෙනෙකුට ආධ්‍යාත්මිකව මග පෙන්වන්නේ නැත. මේ දෙකට ඔබ්බෙන් වූ බලයක් වන්නේ වහී නම් වූ දේව පණිවිඩයයි. එය අල් කුර්ආනය මගින් අපට මෙලොව හා මතුලොව මග පෙන්වන්නක් වන අතර මරණින් මතු විනිශ්චය දිනය දක්වා වූ අතරමැදි ජීවිතය, මතුලොව ආපසු නැගිටුවා එක්රැස් කිරීම, ප‍්‍රශ්න විමසුම, ස්වර්ගය හෝ නිරා ජීවිතය වැනි ගුප්ත කරුණු පිළිබඳ ස්ථිරවම විශ්වාස කිරීමට හා මිනිසාට නිත්‍ය ජයක් හා තම පරමාධිපතිගේ පූර්ණ සතුට දිනා ගැනිමේ මාර්ගයක් වන්නේය. වහී මගින් හෙළිදරව් වූ විෂයක් ඇතැම් විට අපගේ බුද්ධිය මුල් කොට ගත් පංචේන්ද්‍රියන්ට හා විචක්ෂණ බුද්ධියට ගෝචර විය නොහැක. ඒවායෙහි සත්‍ය බව හෝ එහි ප‍්‍රත්‍යක්ෂ බව උරගා බැලීමට අප මෙම ඉන්ද්‍රියයන් භාවිත කරන්නට යෑමෙන් බොහෝ විට අප මග වරදවා ගනු හා විනාශ මුඛයට යනු නිසැකය.

වහී පිළිබඳ ඉස්ලාමීය ස්ථාවරය

නබිවරුන්ගේ පැමිණීම නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගෙන් අවසන් කරනු ලැබීය. එතුමාණන්ට පසු අල්ලාහ්ගේ කිසිදු පණිවිඩකරුවෙකු නොපැමිණෙන අතර කිසිවෙකුට ‘වහී’ හෝ පහළ නොවේ. ඒ සඳහා වන අවශ්‍යතාවක් ද නොමැති අන්දමින් අල්ලාහ්ගේ අවසාන වහී පහළ වීම වන අල් කුර්ආනය අංග සම්පූර්ණ හා පරිපූර්ණ වූවකි. නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා)තුමාණන්ගෙන් පසු කිසිවෙකු හෝ තමා නබිවරයෙකු යැයි හෝ තමාට වහී පහළ වන්නේය යැයි පවසන්නේ නම් ඔහු මුසාවාදියෙකි, වංචාකාරයෙකි. අප ඔහුව එලෙසින්ම ප‍්‍රතික්ෂේප කළ යුතුය. එවැනි නීච බොරුවක් පවසන්නා නිරා ගින්නෙහි තම ලැගුම් ගන්නා ස්ථානය ස්ථිර කර ගන්නෙකි. මුසයිලමා,අස්වදුල් අනසී හා කාදියාන් නම් ප‍්‍රදේශයේ මිර්zසා ගුලාම් අහ්මද් වැනි අය නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගෙන් පසුව පැමිණි ඉතිහාස ගත වූ එසේ ප‍්‍රකාශ කළ මුසාවාදීන්ගෙන් සමහරෙක් වෙති. මෙවැන්නන් පිළිබඳව නබි මුහම්මද්ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා)තුමාණන් සිය ජීවිත කාලයේදී විශ්වාසිකයින්ට අනාවැකි මගින් අනතුරු අඟවා ද ඇත.

නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා)තුමාණන්හට ‘වහී’ පහළ වූ ආකාර හය

  1. සීනු හඬක් සමග ‘වහී’ පණිවිඩ පහළ වීම
    සියුම් සීනු හඬක් සමග ‘වහී’ පණිවිඩ පහළ වූ බව නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා)තුමාණෝ පැහැදිලි කළහ.
    ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය ලැබේවා) මෙසේ දන්වා සිටින්නීය. හාරිස් ඉබ්නු හිෂාම් රලියල්ලාහු අන්හු (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය ලැබේවා)තුමාණන් නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා)තුමාණන්ගෙන් වහී පහළ වන සැටි ඇසුවේය."ඇතැම් විට නොකඩවා ඇසෙන සීනු නාදයක් මෙන් ඇසෙමින් මට වහී පහළ වනු ඇත. එවිට මා දැඩි අපහසුතාවට පත්වෙමි. මෙම පහළ වීම අවසන් වූ පසු එසේ පහළ වූ දේ මාගේ මතකයේ හොඳින් රැඳී තිබෙනු ඇත." යැයි එතුමාණන් පැවසුවේය. (සහීහ් අල් බුඃහාරී 2:1)
    “එතුමා වෙත වහී පහළ වන විට දැඩි ශීත කාලයක වුව ද එතුමාණන්ගේ නලළ දහඩියෙන් තෙත් වී යයි” යැයි තමා දුටු බව ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය ලැබේවා)තුමිය පවසන්නීය (අල් ඉත්කාන් 1:46). තවත් දැන්වීමක, වහී පහළ වන විට නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් දියේ ගිලී හුස්ම හිරවූවෙකු මෙන් පීඩාවට පත්වනු තමා දැක ඇතැ’යි ද එතුමිය පවසන්නීය.
    “වහී පහළ වන විට නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් සතෙකු මත වාඩි වී සිටියේ නම් එම සතා නොසිතූ සැණෙකින් බරක් පටවනු ලැබුවෙකු මෙන් පීඩිත වී වහා බිම දිගාවනු ඇත.” zසයිද් ඉබ්නු සාබිත් රලියල්ලාහු අන්හු තුමාණන් මෙසේ දන්වයි. ‘වරක් නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ භාග්‍යවන්ත සිරස මාගේ උකුළේ තබා ඇල වී සිටින විට වහී පහළ විය. ඒ මොහොතේ සිරස තිබූ මාගේ කකුල පැලී යන්නාක් මෙන් මට දැනුණි.” (සාදුල් මආද් 1:18-19)
    තවද ඇතැම් විට එම සීනු නාදය අසල සිටින්නන්ට පවා ඇසෙනු ඇත. වහී පහළ වන විට නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් අසලින් මී මැස්සන්ගේ නාදයක් මෙන් නාදයක් ඇසුණි යැයි උමර් රලියල්ලාහු අන්හු තුමාණන් වාර්තා කර ඇත.
  2. ජිබ්රීල් අලෛහි සලාම් තුමාණන් මිනිස් රුවෙන් පැමිණීම
    ජිබ්රීල් අලෛහි සලාම් තුමාණන් මිනිස් රුවෙන් පැමිණ වහී පණිවිඩ දෙන ක‍්‍රමයක් ද තිබුණි. මෙම ක‍්‍රමය නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ට ඉතා පහසුම ක‍්‍රමය විය. මෙලෙස ජිබ්රීල් අලෛහි සලාම් තුමාණන් පැමිණෙන විට දිහ්යතුල් කල්බී රලියල්ලාහු අන්හු තුමාණන් නම් සහාබිවරයාගේ ස්වරූපයෙන් පැමිණ ඇති බව වාර්තාවන්හි සඳහන් වී ඇත. (අල් ඉත්කාන් 1:46)
  3. ජිබ්රීල් අලෛහි සලාම් තුමාණන් සිය නියම රුවෙන් පැමිණීම
    ජිබ්රීල් අලෛහිසලාම් තුමාණන් සිය නියම රුවෙන් පැමිණ වහී පණිවිඩ දන්වන ක‍්‍රමයක්ද තිබුණි. නමුත් මෙලෙසින් ජිබ්රීල් අලෛහි සලාම් තුමාණන් වහී රැගෙන පැමිණියේ තෙවරක් පමණි. නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් නබිත්වයට නියම වූ විට වහී පිණිවිඩ සමග ජිබ්රීල් අලෛහි සලාම් තුමාණන් පැමිණි අවස්ථාව පළමුවැන්නයි. නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් ජිබ්රීල් අලෛහි සලාම් තුමාණන්ගේ නියම ස්වරූපය දැක ගැනීමට කැමැත්ත පල කර සිටි විට ඔහු වරක් එලෙසින්ම වහී පණිවිඩයක් රැගෙන පැමිණි අවස්ථාව දෙවැනි අවස්ථාවයි. මිඃරාජ් ගමනට නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් කැඳවා ගෙන යාමට ජිබ්රීල් අලෛහිසලාම් තුමාණන් වහී පණිවිඩයක් සමග පැමිණීම තෙවැනි අවස්ථාවයි. (ෆත්හුල් බාරී 1:18-19)
  4. ඍජුවම අල්ලාහ්ව හමුවීම
    මෙය අති විශේෂ ක‍්‍රමයකි. කිසිදු කෙනෙකුගේ මැදිහත් වීමකින් තොරව ඍජුව අල්ලාහ්ව හමු වී සම්භාෂණයේ යෙදීමයි. මෙසේ හමු වීමේ භාග්‍යය නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ට එක් වරක් පමණක් සිදු විය. එය මිඃරාජ් ගමනෙහිය.
  5. සිහිනයෙන් අල්ලාහ් සමග සම්භාෂණයේ යෙදීම
    වරක් සිහිනයෙන්ද එතුමාණන්ට වහී පහළ වීම සිදු විය. මෙම ක‍්‍රමයේදී ද එතුමාණන් අල්ලාහ් සමග සම්භාෂණයේ යෙදුණේය.
  6. නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ සිතෙහි පහළ වීම
    මෙය මෙතුමාණන්ගේ සිතෙහි පහළ වූ පණිවිඩ ක‍්‍රමයකි. මෙයට අරාබි බසින් ’නෆස් ෆිර් රව්ඉ’ යැයි හඳුන්වනු ලැබේ. එනම් සිත තුළට පිඹීම වේ.

ශුද්ධ අල් කුර්ආනය පහළ වූ ඉතිහාසය

ශුද්ධ අල් කුර්ආනය යනු අල්ලාහ්ගේ කථනයයි. එය ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත ඵලකයේ ආරක්ෂා කොට ඇත. මේ පිළිබඳව ශුද්ධ අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ සඳහන් කරයි.

بَل هُوَ قُرآنٌ مَجيدٌ في لَوحٍ مَحفوظٍ

“ඇත්තෙන්ම මෙය අති කීර්තිමත් කුර්ආනයයි. (එය) ‘ලව්හුල් මහ්ෆූල් (නම් ආරක්ෂිත ඵලකයෙ)හිය.” (අල් කුර්ආන් 85:21-22)

අල් කුර්ආනය මුළුමනින්ම ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත ඵලකයේ සිට ‘බයිතුල් ඉzස්zසා’ නම් ස්ථානයට රමළාන් මාසයේ ‘ලෙයිලතුල් කද්ර්’ නම් බලගතු රාති‍්‍රයෙහි පහළ කරනු ලැබීය. ‘බයිතුල් ඉzස්zසා’ නම් මෙම ගෞරවනීය ස්ථානය පොලෝ තලයේ ඇති ශුද්ධ කඃබාවට* ඍජුවම ඉහළ අහසේ ඇති අති විශිෂ්ට ස්ථානයක් වන අතර එහි නිරතුරුවම මලක්වරුන් අල්ලාහ්ව සිහි කරමින් සිටිති.
ඉන් පසු දෙවන වරට අල් කුර්ආනය නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් හට වසර විසි තුනක කාලයක් පුරාවට කඩින් කඩ පහළ කරන ලදී. මේ පිළිබඳව අල් කුර්ආනයේම පැහැදිලිව සඳහන් වී ඇති අතර ඇතැම් හදීස්* ග‍්‍රන්ථ වලද සඳහන් වී ඇත. (අල් ඉත්කාන් 1:41)
මෙසේ අල් කුර්ආනය එකවර පහළ නොකර දෙවරකට පහළ කිරීමෙන් එහි ගෞරවාන්විත බව පැහැදිලි කිරීම අල්ලාහ් අපේක්ෂා කරන්නට ඇතැ’යි ඉස්ලාමීය විද්වතෙකු වූ අල්ලාමා අබූ ෂාමා (أبُوشَامَة) රහිමහුල්ලාහ් තුමාණන් අදහස් දක්වයි. තවද අල්ලාහ් මලක්වරුන්ට මෙම ග‍්‍රන්ථය තමා පහළ කරන අවසාන ග‍්‍රන්ථය යැයි පැවසීම පිණිස ද මෙසේ පහළ කරන්නට ඇතැ’යි ඔහු වැඩිදුරටත් අදහස් දක්වයි. එපමණක් නොව අල් කුර්ආනය ‘බයිතුල් ඉzස්zසා’ රැකගනු ලැබුවා සේම නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ හදවතේද තබා අල්ලාහ් රකිනු ඇතැ’යි විශාරද zසර්කානී රහිමහුල්ලාහ් තුමා සඳහන් කර ඇත. (මනාහිලූල් ඉර්ෆාන් 1:39)
මෙලෙසින් නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ට මෙම අල් කුර්ආනයේ පළමු වැකි කිහිපයක් පහළ වූයේ ‘ලෙයිලතුල් කද්ර්’ නම් බලගතු රාති‍්‍රයේ එතුමාණන්ගේ හතලිස් වැනි වියේදී බව අල් කුර්ආන් විශාරදයින් ඒකමතිකව පිළිගනියි. නමුත් එම රාති‍්‍රය යෙදුණේ රමළාන් මස 17 වැනි හා 19 වැනි හා 27 වැනි යන දින තුනෙන් කිනම් රාත‍්‍රීයකදී දැ’යි විවිධ මත පවතී. නිසි දිනයක් පිළිබඳව ස්ථිර ප‍්‍රකාශයක් නැත. (තෆ්සීර් ඉබ්නු ජරීර් 10:7)

පළමුවෙන් පහළ වූ ආයතයන්(වැකි) කුමක්ද?

නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ට ආරම්භයේ අල්ලාහ්ගෙන් සිහින මාධ්‍යයෙන් පණිවිඩ ලැබෙන්නට පටන් ගත් බව එතුමාණන්ගේ බිරිය වන ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය දන්වන්නීය. පසුව එතුමාණන් හුදෙකලා වී අල්ලාහ්ව මෙනෙහි කිරීමට වැඩි කාලය යොදවන්නට වූහ. එසේ හුදෙකලා වීමට එතුමාණන් ගියේ මක්කා දේශයේ ඇති ‘හීරා’ නම් වු ගල් ලෙනකටය.
එසේ එතුමාණන් තනි වී සිටි රාත්‍රියක ජිබ්රීල් අලෛහිසලාම් තුමාණන් එහි පැමිණ ‘කියවන්න’ යැයි පැවසීය. ඊට බියට පත් නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් ‘මා අකුරු නූගත් කෙනෙක්මි’ යැයි පිළිතුරු දුන්හ. එයට ඔහු නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ව සිය පපුව හා තුරුලූ කොට වැළඳ අත්හැර පසුව ‘කියවන්න’ යැයි අණ කළේය. එවිටද නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් පෙර පරිදිම පිළිතුරු දුන්නේය. මෙසේ තෙවරක් සිදු වූ පසු නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් නිතැතින්ම කියවන්නට වූහ. එසේ පහළ වූ ප‍්‍රථම ආයතයන් ‘අලක්’ නම් සූරාවෙහි පළමු ආයතයන් පහ වේ. යැයි අල් කුර්ආන් විශාරදයින් ඒකමතිකව පිළිගනියි.


ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ۝ خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ۝ ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ۝ ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ۝ عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ۝

(සියලූ දෑ) මැවූ නුඹේ පරමාධිපතිගේ නාමයෙන් නුඹ කියවවු. ලේ කැටියෙන් මිනිසාව මැව්වේය. නුඹ කියවවු. තවද නුඹගේ පරමාධිපති මහත් පරිත්‍යාගශීලීය. ඔහු පෑන මගින් දැනුම බෙදා දුන්නේය. මිනිසාට නොදන්නා දෑ ඔහු ඉගැන්වූයේය.” (අල් කුර්ආන් 96:1-5)

එලෙසින් ආයතයන් පහක් පහළ වූ පසු වසර තුනක දීර්ඝ කාලයක් මුළුල්ලේ කිසිදු වහී පණිවිඩයක් පහළ නොවීය. මෙම වකවානුවට ‘ෆත්රතුල් වහී’ යනුවෙන් අරාබියෙන් කියනු ලැබේ.
වසර තුනක් ගත වීමෙන් පසු නැවතත් ජිබ්රීල් අලෛහිසලාම් තුමාණන් පැමිණ මුද්දස්සිර් නම් සූරාව* පාරායනය කර පෙන්වීය. ඉන් පසුව වහී පහළ වීම නැවත ආරම්භ විය.

මක්කී සහ මදනී ආයතයන්

අල් කුර්ආනයේ ඇති සූරා හෙවත් පරිච්ඡේදවලට මක්කී සහ මදනී යනුවෙන් යෙදුම් යොදා ඇත. ඇතැමෙක් මක්කී සූරාවන්* යනු මක්කාවෙහිදී පහළ වූ ආයතයන් යැයි ද මදනී සූරාවන්* යනු මදීනාවෙහිදී පහළ වූ ආයතයන් යැයි ද ඒ පිළිබඳව වැරදි ලෙස වටහා ගෙන ඇති බව පෙනේ. නමුත් ඇත්තෙන්ම මක්කී සූරාවන්* යනු නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් මදීනා නගරයට දේශාන්තරණය කිරීමට පෙර පහළ වූ ආයතයන් වන අතර මදනී සූරාවන්* යනු එම දේශාන්තරණයෙන් පසු පහළ වූ ආයතයන් වේ. දේශාන්තරණය කර වසර කිහිපයකට පසු නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් නැවත වරක් මක්කාව ජය ගෙන එහි ගිය පසු මක්කාවේදී පහළ වූ ආයතයන් ද මදනී ආයතයන් ලෙසම සැලකේ. එමෙන්ම මදීනාවට ගිය පසු එතුමාණන් එම නගරයෙන් පිට ඈත ප‍්‍රදේශයන්ට ගිය විට මදීනාව නොවන එම ප‍්‍රදේශයන්හි පහළ වූ ආයතයන් ද මදනී ආයතයන් ලෙසම සැලකේ.
අල් කුර්ආනයේ ඇති බොහෝ සූරාවන් සම්පූර්ණයෙන්ම මක්කී හෝ සම්පූර්ණයෙන්ම මදනී යැයි පැහැදිලිවම කිව හැකි නමුත් ඇතැම් සූරාවන් හිජ්රත්* කිරීමට පෙර පහළ වීමට පටන් ගෙන හිජ්රත් ගමන අතරතුර හා එයින් පසු අවසන් කොටස පහළ වී සම්පූර්ණ විය. මෙවැනි මිශ‍්‍ර ආයතයන් ඇති සූරාවන් විෂයෙහි එහි වැඩි වශයෙන් පහළ වී ඇති අවස්ථාව අනුව මක්කී යනුවෙන් හෝ මදනී යනුවෙන් හෝ නම් කරන ලදී. (අල් බුර්හාන් 1:88, මනාහිලූල් ඉර්ෆාන් 1:88)

මක්කී ආයතයන්හි ඇති විශේෂත්වයන්

  1. كَلَّا ‘එසේ නොව’ යන වචනය භාවිත වී තිබීම. අල් කුර්ආනයේ සූරාවන් 15 ක 33 වරක් මෙසේ භාවිත වී ඇත.
  2. සූරා බකරා හැර නබි ආදම්*  තුමාණන් හා ෂෙයිතාන්ගේ* විස්තර කියවෙන සියලුම සූරාවන් මක්කී වීම.
  3. يَا أَيُّهَا النَّاسُ ‘ජනයිනි,’ යනුවෙන් අමතන වචනය යෙදී ඇති ආයතයන් සියල්ල මක්කී වීම.
  4. මක්කී ආයතයන් එතරම් දීර්ඝ නැති කෙටි ආයතයන් වීම.
  5. මෙම ආයතයන්හි බොහෝ සෙයින් නබිත්වය හා තව්හීද් හෙවත් ‘ඒක දේව විශ්වාසය’ පිළිබඳව සඳහන් වී තිබීම.
  6. තවද මෙම ආයතයන්හි බහු දේව විශ්වාසය හෙළා දකින ස්වරූපයක් තිබීම.

මදනී ආයතයන්හි ඇති විශේෂත්වයන්

  1. මෙම ආයතයන්හි ජිහාද් සංකල්පය පිළිබඳව හා එහි නීති රීතීන් විග‍්‍රහ කර තිබීම.
  2. තවද මුනාෆික්* හෙවත් ආත්ම වංචනිකයන් පිළිබඳව ද කිතුනුවන් හා යුදෙව්වන් පිළිබඳව ද සඳහන් වී තිබීම.
  3. තවද මෙම ආයතයන්හි يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ‘විශ්වාස කළවුනි’ යැයි අමතනු ලැබ තිබීම.
  4. මෙහි ආයතයන් ඉතා දීර්ඝ වීම.

අල් කුර්ආනය පාරායනය කිරීමේ ශෛලීන් හත හා පාරායන ක‍්‍රම

අල් කුර්ආනය සරල ලෙස පාරායනය කිරීමට හැකි වනු පිණිස අල්ලාහ් එය ආකාර කිහිපයකින් පාරායනය කිරීමට පහසුකම් සලසා ඇත. කෙනෙකුට ඇතැම් වචන එක් ආකාරයකින් උච්චාරණය කිරීමට නොහැකි වූ අවස්ථාවක ඔහුට තවත් ආකාරයකින් ඒවා උච්චාරණය කිරීමේ පහසුව ඇති කර ඇත. මුස්ලිම් නම් හදීස්* ග්‍රන්ථයේ වාර්ථාවක මෙසේ සඳහන් වේ. එනම් “බනු ගිෆාර් නම් ගෝත‍්‍රයකට අයත් පොකුණක් අසල නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් හිඳගෙන සිටින විට ජිබ්රීල් අෙලෙහිල් තුමාණන් පැමිණ, ‘අල්ලාහ් නුඹගේ සමූහයාට අල් කුර්ආනය එක ශෛලියකින් පාරායනය කරන මෙන් අණ කර ඇතැ’යි පැවසුවේය. එයට නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් ‘මම අල්ලාහ්ගෙන් සමාව අයැදින්නෙමි. මාගේ ජනයාට එසේ කිරීමට හැකියාවක් නැතැ’යි පැවසුවේය. පසුව ජිබ්රීල් අලෛහිසලාම් තුමාණන් නැවත එතුමා වෙත පැමිණ ‘අල්ලාහ් නුඹගේ සමූහයාට අල් කුර්ආනය ශෛලීන් දෙකකින් පාරායනය කරන මෙන් අණ කර ඇතැ’යි පැවසුවේය. එයට නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් ‘මම අල්ලාහ්ගෙන් සමාව අයැදින්නෙමි. මාගේ ජනයාට එසේ කිරීමට හැකියාවක් නැතැ’යි පැවසුවේය. තුන්වන වරටද ජිබ්රීල් අලෛහිසලාම් තුමාණන් පැමිණ ‘අල්ලාහ් නුඹගේ සමූහයාට අල් කුර්ආනය ශෛලීන් තුනකින් පාරායනය කරන මෙන් නුඹට අණ කර ඇතැ’යි පැවසුවේය. එයට නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් ‘මම අල්ලාහ්ගෙන් සමාව අයැදින්නෙමි. මාගේ ජනයාට එසේ කිරීමට හැකියාවක් නැතැ’යි නැවතත් පැවසුවේය. හතරවන වතාවට ද ඔහු පැමිණ ‘අල්ලාහ් නුඹගේ සමූහයාට අල් කුර්ආනය ශෛලීන් හතකින් පාරායනය කරන මෙන් අණ කර ඇත. එබැවින් ඔවුන් එම ශෛලීන් හතෙන් කුමන ශෛලයකින් පාරායනය කළද ඔවුන්ගේ පාරායනය නිවැරදි වන්නේය’යැයි පැවසුවේය. (මනාහිලූල් ඉර්ෆාන් 1:33)
තවත් හදීසයක* සඳහන් පරිදි නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් “සැබැවින්ම මෙම අල් කුර්ආනය ශෛලීන් හතකින් පහළ කරනු ලැබ ඇත. එබැවින් නුඹලා ඒවායින් පහසු ශෛලියකින් පාරායනය කරවු.” යැයි පැවසුවේය.
මෙහි නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් පවසා ඇති ‘ශෛලීන් හත’ යනු කුමක්ද? යන්නට ඇතැම් විද්වතුන් නොයෙක් අදහස් ප‍්‍රකාශ කර ඇතත් මේ පිළිබඳව දීර්ඝ පරීක්ෂණයන් කළ බහුතර විද්වතුන් අබියස ඒවා අතුරින් පිළිගැනීමට ලක් වූ ‘රාජිහ්’ නම් ප‍්‍රබල ප‍්‍රකාශය වන්නේ අල් කුර්ආනය පාරායනය කිරීමේ විවිධ ශෛලීන්හි වෙනස්කම් ඇති වන්නේ පහත සඳහන් කරුණු හත පදනම් කරගෙන යන්නය.

‘සබ්අතු අහ්රුෆ්’ හෙවත් ශෛලීන් හත

  1. නාම පදයේ වෙනස් වීම :
    එනම් ඒක වචනය, ද්වී වචනය, බහු වචනය හා පුරුෂ ලිංග පදය, ස්තී‍්‍ර ලිංග පදය යන දෑහි ඇති වන වෙනස්කම්ය. උදාහරණ ලෙස එක් පාරායන ක‍්‍රමයක ඒක වචනයෙන් وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ යනුවෙන් පාරායනය කරන පදය තවත් පාරායන ක‍්‍රමයක وَتَمَّتْ كَلِمَاتُ رَبِّكَ යනුවෙන් බහු වචනයෙන් පාරායනය කරනු ලැබ ඇත.
  2. කි‍්‍රයා පදයේ වෙනස් වීම :
    එනම් එක් පාරායන ක‍්‍රමයක අතීත කාල කි‍්‍රයා පදයෙන් ද තවත් ක‍්‍රමයක වර්තමාන කාල කි‍්‍රයා පදයෙන් ද තවත් ක‍්‍රමයක විධි කි‍්‍රයා පදයෙන් ද පාරායනය කරනු ලැබේ. උදාහරණ ලෙස එක් පාරායන ක‍්‍රමයක رَبَّنَا بَاعِدْ بَيْنَ أَسْفَارِنَا යනුවෙන් පාරායනය කරනු ලබන පදය තවත් පාරායන ක‍්‍රමයක رَبَّنَا بَعِّدْ بَيْنَ أَسْفَارِنَا යනුවෙන් පාරායනය කරනු ලැබ ඇත.
  3. ව්‍යාකරණ ක‍්‍රමවේදයේ ඇති වන වෙනස් වීම :
    එනම් ව්‍යාකරණ ක‍්‍රමවේදයේ නොහොත් උච්චාරණ සළකුණේ පිහිටීමෙහි ඇති වන වෙනස් වීම. උදාහරණ ලෙස එක් පාරායන ක‍්‍රමයක مَا هَذَا بَشَرًا යනුවෙන් පාරායනය කරනු ලබන පදය තවත් පාරායන ක‍්‍රමයක مَا هَذَا بَشَرٌ යනුවෙන් පාරායනය කරනු ලැබ ඇත.
  4. පද අඩු කිරීමෙහි හා වැඩි කිරීමෙහි ඇති වන වෙනස් වීම :
    එනම් එක් පාරායන ක‍්‍රමයක පාරායනය කරනු ලබන ආයතයෙහි යම් පදයක් තවත් පාරායන ක‍්‍රමයක අඩු කර පාරායනය කරනු ලැබීම වේ. උදාහරණ ලෙස එක් පාරායන ක‍්‍රමයක تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ යනුවෙන් පාරායනය කරනු ලබන පදය වෙනත් පාරායන ක‍්‍රමයක تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ යනුවෙන් පාරායනය කරනු ලැබ ඇත. එහෙත් මෙයාකාරයෙන් ඇති වන පද අඩු වැඩි වීම් හි කිසිඳු අර්ථ වෙනස් වීමක් ඇති නොවේ.
  5. අනුපිළිවලින් පැමිණීමෙහි හා පෙරටු වීමෙහි ඇති වන වෙනස් වීම :
    එනම්, එක් පාරායන ක‍්‍රමයක පාරායනය කරනු ලබන ආයතයෙහි යම් පදයක් පෙරටු කර පාරායනය කරනු ලබන අතර තවත් පාරායන ක‍්‍රමයක එය අනුපිළිවලින් පාරායනය කරනු ලැබේ. උදාහරණ ලෙස එක් පාරායන ක‍්‍රමයක وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ යනුවෙන් පාරායනය කරනු ලබන පදය තවත් පාරායන ක‍්‍රමයක بِالْمَوْتِ وَجَاءَتْ سَكْرَةُ الْحَقِّ යනුවෙන් පාරායනය කරනු ලැබ ඇත.
  6. ස්ථාන මාරු වීමෙන් ඇති වන වෙනස් වීම :
    එනම් මෙය සිදුවන්නේ එක් පාරායන ක‍්‍රමයක පදයක් වෙනත් පාරායන ක‍්‍රමයක දී එය වෙනත් පදයක් ලෙස මාරු වීම මගිනි. උදාහරණ ලෙස එක් පාරායන ක‍්‍රමය نُنْشِزُها යනුවෙන් පාරායනය කරනු ලබන පදය තවත් පාරායන ක‍්‍රමයක نَنْشُرُها යනුවෙන් පාරායනය කරනු ලැබ ඇත. තවත් උදාහරණයක් නම් එක් පාරායන ක‍්‍රමයක فَتَبَيَّنُوا යනුවෙන් පාරායනය කරන පදය තවත් පාරායන ක‍්‍රමයක فَتَـثَبـَّـتُوا යනුවෙන් පාරායනය කරනු ලැබ ඇත.
  7. පාරායනය කිරීමේ ආකාරයෙහි ඇති වන වෙනස් වීම :
    මෙහි ‘තෆ්හීම්’ හෙවත් ශබ්දය රළු කිරීමෙහි ද ‘තර්කීක්’ හෙවත් අක්ෂර සැහැල්ලූවෙන් උච්චාරණය කිරීමෙහි ද ‘ඉමාලා’ හෙවත් කෙටි ප‍්‍රාණක්ෂරයන්හි ශබ්දය ඇල කර පාරායනය කිරීමෙහි ද ‘මද්’ හෙවත් දීර්ඝ කිරීමෙහි ද ‘කස්ර්’ හෙවත් කෙටි කිරීමෙහි ද ‘හම්zස්’ හෙවත් හම්zසා (أ) නම් අක්ෂරය සමග ඇතුළත් කිරීමෙහි ද ‘ඉල්හාර්’ හෙවත් පැහැදිලි උච්චාරණය කිරීමෙහි ද ‘ඉද්ගාම්’ හෙවත් සමාග‍්‍රහණය කිරීමෙහි ද වෙනස් වීම් අන්තර්ගත වේ. මෙයින් අදහස් වන්නේ එහි මුල් පදයෙහි වෙනස් කමක් ඇති නොවන අතර එහි උච්චාරණ ක‍්‍රමයෙහි පමණක් වෙනස් කමක් සිදුවේ යන්නයි. උදාහරණ ලෙස එක් පාරායන ක‍්‍රමයක ‘මූසා’ යනුවෙන් පාරායනය කරනු ලබන පදය තවත් පාරායන ක‍්‍රමයක ‘මූසේ’ යනුවෙන් එහි අවසාන කෙටි ප‍්‍රාණක්ෂර ශබ්දය ඇල කර පාරායනය කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් ඇතැම් කිරාඅතයන් හෙවත් පාරායන ක‍්‍රමයන් පහළ වූයේ ඉහත සඳහන් වෙනස් වීම් සම්මත කර ගෙනය. ඇත්තෙන්ම මෙම වෙනස් වීම් අතර අදහසෙහි කිසිඳු වෙනස්කමක් ඇති වී නැත. මෙම ක‍්‍රමවේදය දෙනු ලැබ ඇත්තේ කියවීමේ පහසුව මුල් කොට ගෙනය.
ආරම්භ කාලයේ දී ජනයින් අල් කුර්ආනය පහළ වූ ශෛලියට අනුව පාරායනය කිරීමට පුරුදු වී නොසිටියෝය. එබැවින් ඇතැම් පාරායන ක‍්‍රමයන් ඉහත සඳහන් කරුණු හතට අනුව පාරායනය කිරීමට අනුමැතිය දෙනු ලැබ තිබුණි.
තෙවන කලීෆා* වන උස්මාන් රලියල්ලාහු අන්හු තුමාණන් අල් කුර්ආනය පාරායනය කිරීම විෂයෙහි ඇති වූ වැරදි වැටහීම් ඉවත් කරනු පිණිස තම පාලන කාලය තුළ අල් කුර්ආනයේ පිටපත් හතක් සකස් කළේය. තවද එතුමා මෙම පිටපත් හතෙහි ඇති අක්ෂර ස්වරූපයෙහි බොහෝ පාරායන ක‍්‍රමයන් අන්තර්ගත කළේය. අරාබි භාෂාවට විශේෂිත වූ පිල්ලම් හා තිත් වැනි යෙදුම් එම පිටපත්හි නොයෙදූහ. මන්දයත් ඕනෑම කෙනෙකුට ඒවා අතුරින් තමන් කැමති කිරාඅතයට* අනුව පරායනය කිරීමට හැකිවනු පිණිසය. කිනම් පාරායන ක‍්‍රමයන් මෙම පිටපත්හි ඇති අක්ෂර ස්වරූපයෙහි අන්තර්ගත කළ නොහැක්කේද ඒවා ආරක්ෂා කිරීම පිණිස එතුමාණන් එක් එක් පාරායන ක‍්‍රමයට අනුව එක් එක් පිටපත් සකස් කර තැබුවේය. මෙම පිටපත්හි එක්රැස් කරනු ලැබූ පාරායන ක‍්‍රමයන් ජනයින් සිත්හි ධාරණය කර ගැනීම පිණිස පාරායන ක‍්‍රමයේ දැනුම තනි ක්ෂේත‍්‍රයක් වන තරමට ඒ පිළිබඳව අවධානය යොමු කළේය. තවද බොහෝ විද්වතුන්, කාරිවරුන් හා හාෆිල්වරුන් හෙවත් අල් කුර්ආනය ධාරණය කළවුන් මේවා ආරක්ෂා කිරීම පිණිස තමන්ගේ ජීවිත කැප කර ඇත.
ඇත්තෙන්ම සිදුවූයේ කුමක් දැ’යි යන්න අවධානය යොමු කළේ නම් උස්මාන් රලියල්ලාහු අන්හු තුමා එම පිටපත් සත විවිධ ප‍්‍රදේශයන් වලට යවා ඒ සමගම ඒවා නිසි ලෙස පාරායනය කිරීමට උගන්වන කාරීවරුන් හෙවත් අල් කුර්ආනය පාරායනය කිරීමෙහි මනා නිපුනත්වයක් ඇත්තන්ව ද යැව්වේය. එම කාරීවරුන් ඔවුන්ට අයත් ප‍්‍රදේශයන්ට ගොස් ඔවුන්ට අයත් කිරාඅත් හෙවත් පාරායන ක‍්‍රමය එම ප‍්‍රදේශවාසීන්ට ඉගැන්වූවෝය. එබැවින් ජනයින් අතර මෙම විවිධ කිරාඅත් හෙවත් පාරායන ක‍්‍රමයන් පැතිරෙන්නට විය. මෙම අවස්ථාවේදී ඇතැම් මිනිසුන් මෙම විවිධ කිරාඅත් ක‍්‍රම ඉගෙන ගෙන ඒවා අන් අයට ඉගැන්වීමට තම ජීවිතය කැප කළෝය. මෙලෙස අල් කුර්ආනය විවිධ කිරාඅතයන් මගින් පාරායනය කිරීමේ ශාස්ත‍්‍රය ආරම්භ විය. තවද ඇතැම් ඉස්ලාමීය රටවල්වල මිනිසුන් මෙම විෂයෙහි උසස් අධ්‍යාපනය හදාරා නිපුනත්වයක් ලැබූහ. සමහරුන් එක් කිරාඅතයක් ද තවත් සමහරුන් කිරාඅතයන් දෙකක් ද තවත් සමහරුන් කිරාඅතයන් හතක් ද තවත් සමහරුන් එයට වඩා වැඩි කිරාඅතයන් ද සිත්හි ධාරණය කළෝය. මේ හා සම්බන්ධව මුළු මුස්ලිම් ප‍්‍රජාවටම සම්මත නීතියක් පිළිගනු ලැබූ අතර එය සෑම ප‍්‍රදේශයකම නිසි පරිදි අනුගමනය කරනු ලැබීය. එම නීතියෙහි කොන්දේසි තුනක් පරිපූර්ණ විය යුතු යැයි එම කාරීවරුන් නියම කරනු ලැබීය.

  1. උස්මාන් රලියල්ලාහු අන්හු තුමාගේ පිටපතට අනුකූල උස්මානී ලෙස එම කිරාඅත් හෙවත් පාරායන ක‍්‍රමය විය යුතුය.
  2. එය අරාබි ව්‍යාකරණ මාලාවට එකඟ විය යුතුය.
  3. එය නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගෙන් පැමිණි බවට තහවුරු විය යුතුය. තවද එය අල් කුර්ආනයේ පාරායන ක‍්‍රමයන් පිළිබඳව නිපුනත්වයක් ලැබූවන් අතර එය ප‍්‍රකට වූවක් විය යුතුය.

එක් පාරායන ක‍්‍රමයකට මෙම කොනේදේසි තුනෙන් එකක් හෝ නොතිබුණේ නම් එය අල් කුර්ආනයේ කොටසක් යැයි සළකනු නොලැබේ. මේ අනුව බොහෝ කිරාඅතයන් හෙවත් පාරායන ක‍්‍රමයන් මුතවාතිර්* ලෙස නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ සමයේ සිට බහුතර පිරිසක් මගින් නොකඩවා දන්වනු ලැබ ඇත. පසු කලෙක යම් ඉමාම්වරයෙක් හෝ කාරිවරයෙක් ජනයාගේ පහසුව තකා එක් කිරාඅතයක් හෝ කිරාඅතයන් කිහිපයක් පමණක් ජනයාට ඉගැන්වීමට පටන් ගත්තේ නම් එසේ ඔහු ඉගැන්වූ නිශ්චිත කිරාඅතයන් හඳුන්වනු ලැබුවේ එම ඉමාම්වරයාගේ නාමයෙනි. ඉන් පසුව විද්වතුන් මෙම කිරාඅතයන් එක්රැස් කිරීමට පොත් පත් ගොනු කරන්නට පටන් ගත්තෝය. ඒ අනුව මුලින්ම මෙම ක්ෂේත‍්‍රයේ ග‍්‍රන්ථයන් සම්පාදනය කළේ ඉමාම් අබූ උබෙයිද් කාසිම් ඉබ්නු සල්ලාම්, ඉමාම් අබූ හාතිම් සජිස්තානී, කාලි ඉස්මාඊල් හා ඉමාම් අබු ජඃෆර් අත් තබරී යන අයයි. ඒවායෙහි කිරාඅතයන් හෙවත් පාරායන ක‍්‍රමයන් 20 ට අධිකව අන්තර්ගත වී තිබුණි. පසුව අබූ බක්ර් ඉබ්නු මුජාහිද් (අභාවය, හිජ්රී 324) යන ශ්‍රේෂ්ට විද්වතා ග‍්‍රන්ථයක් ලේඛන ගත කළේය. එහි කාරිවරුන් හත්දෙනෙකුගේ කිරාඅතයන් පමණක් අන්තර්ගත කළේය. මෙම ග‍්‍රන්ථය කෙතරම් දුරට ප‍්‍රචලිත වූයේද යත් අන් කාරිවරුන්ට වඩා මෙහි සඳහන් වූ කාරිවරුන් ජනප‍්‍රිය වූහ. තවද පිළිගනු ලැබූ මුතවාතිර්* ගණයට අයත් කිරාඅතයන් ’මෙම කිරාඅතයන් පමණකි’ යැයි ඇතැමුන් සිතූහ. ඉමාම් අබූ බක්ර් ඉබ්නු මුජාහිද් තුමාණන් මෙම කිරාඅතයන් හත ගොනු කළේ අනපේක්ෂිත අන්දමින්ය. එහෙත් ඔහු අන් කිරාඅතයන් පිළිගත නොහැකි වැරදි කිරාඅතයන් යැයි අදහස් කළේ ද නැත. තවද ඔහුගේ මෙම කි‍්‍රයාවලියෙන් ජනයා අතර තවත් වැරදි වැටහීමක් ඇති විය. එනම් ඇතැමුන් ‘සබ්අතු අහ්රුෆ්’ හෙවත් ශෛලීන් හත යනු මෙම කිරාඅතයන් හත යැයි වරදවා වටහා ගත්තෝය.

කාරිවරුන් හත්දෙනා

ඉමාම් අබූ බක්ර් ඉබ්නු මුජාහිද් යන විද්වතාගේ ග‍්‍රන්ථය මගින් ජනපි‍්‍රය වූ කාරිවරුන් හත්දෙනා :

  1. අබ්දුල්ලාහ් ඉබ්නු කසීර් අද් දාරී (අභාවය, හිජ්රී 120) තුමාණන්
    අනස් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු තුමාණන්, අබ්දුල්ලාහ් ඉබ්නු zසුබෙයිර් රලියල්ලාහු අන්හු තුමාණන් හා අබූ අයියූබ් අල් අන්සාරී රලියල්ලාහු අන්හු තුමාණන් යන සහාබිවරුන්ව* හමු වී ඔවුන්ගෙන් දැනුම හැදෑරූ විද්වතෙකි. ඔහුගේ කිරාඅතය හෙවත් පාරායන ක‍්‍රමය මක්කාවේ ජනපි‍්‍රය විය. ඉමාම් බzස්zසී තුමාණන් හා ඉමාම් කම්බල් තුමාණන් යන විද්වතුන් ඔහුගෙන් වාර්තා කළ ප‍්‍රකට විද්වතුන්ය.
  2. නාෆිඃ ඉබ්නු අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී අන් නුඅයිම් (අභාවය, හිජ්රී 169) තුමාණන්,
    මොහු සහාබිවරුන් වන උබෙයි ඉබ්නු කඃබ් රලියල්ලාහු අන්හු තුමාණන්, අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු තුමාණන් හා අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු තුමාණන් යන අයගේ ශිෂ්‍යයන් වන තාබිඃවරුන් හැත්තෑ දෙනෙකුගෙන් දැනුම හැදෑරූ විද්වතෙකි. ඔහුගේ කිරාඅතය හෙවත් පාරායන ක‍්‍රමය මදීනාවෙහි ප‍්‍රසිද්ධ වී තිබුණි. අබූ මූසා කාලූන් (අභාවය, හිජ්රී 220) තුමාණන් හා අබූ සඊද් (අභාවය, හිජ්රී 197) තුමාණන් ඔහුගෙන් වාර්තා කළ සුප‍්‍රකට විද්වතුන්ය.
  3. ඉබ්නු ආමිර් නමින් ප‍්‍රකට අබ්දුල්ලාහ් අල් හිස්බී (අභාවය, හිජ්රී 118)
    මොහු නුඃමාන් ඉබ්නු බෂීර් රලියල්ලාහු අන්හු තුමාණන් හා වාසිලා ඉබ්නු අස්කා රලියල්ලාහු අන්හු තුමාණන් යන සහාබිවරුන්ව* හමු වී ඔවුන්ගෙන් දැනුම හැදෑරූ විද්වතෙකි. තවද මොහු උස්මාන් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ ශිෂ්‍යයා වන මුගීරා ඉබ්නු ෂිහාබ් තුමාණන්ගෙන් කිරාඅත් කලාව ඉගෙන ගත්තේය. මොහුගේ කිරාඅතය බොහෝ ලෙස භාවිත වූයේ සිරියාවෙහිය. හිෂාම් තුමාණන් හා දක්වාන් තුමාණන් යන විද්වතුන් ඔහුගෙන් වාර්තා කළ සුප‍්‍රකට විද්වතුන්ය.
  4. අබූ අම්ර් zසබ්බාන් ඉබ්නු අල් අලා (අභාවය, හිජ්රී 154),
    මොහු මුජාහිද් හා සඊද් ඉබ්නු ජුබෙයිර් තුමන්ගේ පෙළෙන් ඉබ්නු අබ්බාස් හා උබෙයි ඉබ්නු කඃබ් රලියල්ලාහු අන්හුමා තුමාණන් යන සහාබිවරුන් දෙදෙනාගෙන් වාර්තා කර ඇත. මොහුගේ කිරාඅතය බස්රා නම් ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ විය. අබූ උමර් අද් දව්රී (අභාවය, හිජ්රී 246) හා අබූ ෂුඅයිබ් අස් සූසී (අභාවය, හිජ්රී 261) යන විද්වතුන් ඔහුගෙන් වාර්තා කළ සුප‍්‍රකට විද්වතුන්ය.
  5. ඉක්රිමා ඉබ්නු රබීඃ අත් තයිමිගේ වහලෙකු වූ හම්zසා ඉබ්නු හබීබ් අzස් zසයියාත් (අභාවය, හිජ්රී 188)
    මොහු උස්මාන්, අලි හා අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හුම් යන සහාබිවරුන්ගෙන් දැනුම හැදෑරූ zසිර් ඉබ්නු හුබෙයිෂ්ගේ ශිෂ්‍යයා වන යහ්යා ඉබ්නු වස්සාබ්ගේ ශිෂ්‍යයා වන සුලෙයිමාන් අල් අඃමෂ්ගේ ශිෂ්‍යයෙකු විය. හලෆ් ඉබ්නු හිෂාම් (අභාවය, හිජ්රී 188) හා හල්ලාද් ඉබ්නු කාලිද් (අභාවය, හිජ්රී 220) ඔහුගෙන් වාර්තා කළ ප‍්‍රකට විද්වතුන්ය.
  6. ආසිම් ඉබ්නු අබී අන් නජූද් අල් අසදී (අභාවය, හිජ්රී 127),
    මොහු අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ ශිෂ්‍යයෙකු වන zසිර් ඉබ්නු හුබෙයිෂ්ගෙන් ද අලි රලියල්ලාහු අන්හු තුමාණන්ගේ ශිෂ්‍යයන් වන අබූ අබ්දුර් රහ්මාන් සුලමී හා අල් අසදී යන අයගෙන් ද දැනුම හැදෑරූ විද්වතෙකි. ෂුඃබහ් ඉබ්නු අය්යාෂ් (අභාවය, හිජ්රී 193) හා හෆ්ස් ඉබ්නු සුලෙයිමාන් (අභාවය, හිජ්රී 180) තුමාණන් ඔහුගෙන් වාර්තා කළ ප‍්‍රකට විද්වතුන්ය. වර්තමානයේ පොදුවේ අල් කුර්ආනය පාරායනා කරනු ලබන්නේ ද මෙතුමා වාර්තා කළ කිරාඅතයට අනුවය.
  7. අබූ අල් හසන් අලී ඉබ්නු හම්zසා අල් කිසාඊ (අභාවය, හිජ්රී 189),
    අබූ අල් හාරිස් මර්වzසී (අභාවය, හිජ්රී 240) හා අබූ උමර් අද් දව්රී (මොහු අබූ අම්ර්ගෙන් ද වාර්තා කර ඇත) යන අය ඔහුගෙන් වාර්තා කළ ප‍්‍රකට විද්වතුන්ය. අවසාන කිරාඅත් හෙවත් පාරායන ක‍්‍රමයන් තුන කූෆහ් නම් ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ විය.

පෙර සඳහන් පරිදි මෙම කිරාඅත්* හෙවත් පාරායන ක‍්‍රම හත නොවන තවත් ක‍්‍රමයන් කිහිපයක් ද ඇත. ඒවා ද මුතවාතිර්* ගණයට අයත් තහවුරු වූ කිරාඅතයන් වේ. කෙසේ වෙතත් පෙර සඳහන් කිරාඅතයන් හත පමණක් තහවුරු වූ කිරාඅතයන් යැයි වරදවා වටහා ගත් අවස්ථාවේ දී අල්ලාමා ෂදාඊ හා අබූ බක්ර් ඉබ්නු මිහ්රාන් තුමන් වැනි ඇතැම් විද්වතුන් මෙම කිරාඅතයන් හත වෙනුවට කිරාඅතයන් දහයක් එක් ග‍්‍රන්ථයක එක්රැස් කළෝය. එබැවින් ‘අල් කිරාඅතුල් අෂ්රා’ හෙවත් පාරායන ක‍්‍රම දහය ප‍්‍රචලිත විය. මෙම කිරාඅතයන් දහයෙහි ඉහත සඳහන් හත සමග පහත් සඳහන් තුන ද අන්තර්ගත වී තිබිණ.

  1. යඃකූබ් ඉබ්නු ඉස්හාක් අල් හල්රමී (අභාවය, හිජ්රී 205)
    මොහුගේ කිරාඅතය බස්රා නගරයේ ප‍්‍රසිද්ධ විය.
  2. හල්ෆ් ඉබ්නු හිෂාම් (අභාවය, හිජ්රී 205)
    මොහු ද හම්zසාගේ කිරාඅතය වාර්තා කළ කෙනෙකි. මොහුගේ කිරාඅතය කූෆහ් දේශයෙහි ප‍්‍රසිද්ධ විය.
  3. අබූ ජඃෆර් යzසීද් ඉබ්නු කඃකා (අභාවය, හිජ්රී 130)
    මොහුගේ කිරාඅතයට මදීනාවෙහි ඉතා උසස් ස්ථානයක් හිමි විය.

මෙම පාරායන ක‍්‍රම දහය මුතවාතිර්* ගනයට අයත් එනම් තහවුරු වූ පාරායන ක‍්‍රමයන්ය.
‘වර්තමානයෙහි අල් කුර්ආනය කුමන ස්වරූපයෙන් අප හමුවේ ඇත්තේද එම ස්වරූපය කිසිදු වෙනසකින් තොරව මුතවාතිර්* ගණයෙන් පැවතෙන්නක්’ යන්නෙන් විද්වත් සියල්ලන්ම ඒකමතිකව පිළිගනිති.
තවද වර්තමානයේ අප වෙත ළගා වී ඇති සියලු මුතවාතිර්* කිරාඅතයන් කිසිඳු සැකයකින් තොරව නිවැරදි බව හා එයින් ඕනෑම ක‍්‍රමයකින් කියවීම වලංගු බවද අල් කුර්ආන් විශාරදයින් ඒකමතිකව පිළිගනියි.
’අල් කුර්ආනයේ පාරායන ශෛලීන් හතෙහි තිබෙන වෙනස්කම් සියල්ල උච්චාරණය හා සම්බන්ධ වෙනස්කම් පමණක් වන අතර එහි අර්ථයන් හා අදහස්හි කිසිඳු වෙනසක් නොමැත.’ යන්න ඉස්ලාමීය විද්වතුන් අතර කිසිදු සැකයකින් තොර ව පිළිගන්නා කරුණකි.
සෑම වසරකම රමළාන් මාසයෙහි ජිබ්රීල්* අලෛහිසලාම් තුමාණන් හට අල් කුර්ආනය නිරීක්ෂණාත්මකව නැවත පාරායනා කර පෙන්වන සිරිතක් නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ට විය. තවද නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් අභාවයට පත් වූ වසරෙහි රමළාන් මාසයෙහි ජිබ්රීල්  තුමා සමග දෙවරක් අල් කුර්ආනය නිරීක්ෂණාත්මකව නැවත පාරායනා කළහ. මෙයට ‘අල් උර්ළතුල් අකීරා’ (අවසාන නිරීක්ෂණය) යනුවෙන් පවසනු ලැබේ. මෙම ‘අල් උර්ළතුල් අකීරා' වෙහි දී හෝ එයට පෙර කිනම් පාරායන ක‍්‍රමයන් නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ මග පෙන්වීම් අනුව අවලංගු කරනු ලැබුවේද ඒවා කිසිවක් අල් කුර්ආනයේ කොටසක් නොවේ’ යන්න ද ඒකමතික වූ කරුණකි. (සහීහ් අල් බුඃහාරි, ෆත්හුල් බාරී 9:36)
තවද මුතවාතිර්* ගණයට අයත් වූ කිරාඅතයන් වලට අමතරව තිබෙන ‘ශාzස් කිරාඅතයන්’ හෙවත් දුර්ලභ පාරායන ක‍්‍රමයන්ගෙන් කුමන පාරායන ක‍්‍රමයන් වාර්තා කරනු ලැබ තිබේද ඒ සියල්ලක්ම අල් කුර්ආනයේ කොටසක් ලෙස තීන්දු කළ නොහැකි බව මුළු මුස්ලිම් ප‍්‍රජාවගේ ඒකමතික තීන්දුවයි. මෙයට උදාහරණයක් ලෙස (අල් කුර්ආන් -2:198) වැනි ආයතය වන
“لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ” සමග “فِي مَوَاسِمِ الْحَج”
නම් කොටස ද අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු නම් අල් කුර්ආන් විග‍්‍රහකයෙකු වන සහාබිවරයා* පාරායනා කොට ඇත” යැයි ඇතැම් වාර්තාවන්හි සඳහන් වී ඇත.
• මෙම ‘ෆී මවාසිමිල් හජ්’ යන කොටස එතුමාණන් විසින් එම ආයතය* සමග එකවර පාරායනා කරනු ලැබුවද එය ආයතයෙන් කොටසක් නොවන්නේය. එයට පටහැණිව මෙම කොටස එම ආයතය විග‍්‍රහ කිරීම සඳහා විවරණයක් ලෙස එතුමාණන් විසින් සඳහන් කරනු ලැබූවකි” යැයි බහුතරයක් විද්වතුන් පවසති. එහෙයින් එම වදන අල් කුර්ආනයට අයත් ආයතයක් නොවන්නේය.
• තවද එතුමාණන් ‘ෆී මවාසිමිල් හජ්’ යන කොටස මෙම ආයතයෙහි අතිරේකව පාරායනා කර තිබෙන එකක් බව ද මෙය එතුමාණන්ගේ කිරාඅත් හෙවත් අල් කුර්ආන් පාරායනා ක‍්‍රමයක් යැයි ද ඇතැම් වාර්තාවන් වල දක්නට ඇත. එනමුත් මෙම කිරාඅත් හෙවත් පාරායනා ක‍්‍රමය මුතවාතිර් ගණයට ඇතුළත් වන පාරායනා ක‍්‍රමයන් තුළ වූවක් නොවේ. මෙය ‘ශාzස් කිරාඅතයන්’ හෙවත් දුර්ලභ පාරායන ක‍්‍රමයන්ගෙන් එකකි. එබැවින් සියලු ඉස්ලාමීය විද්වතුන් අතර ‘ෆී මවාසිමිල් හජ්’ යන මෙම කොටසෙහි නීතිය නම් එය ‘තෆ්සීර්’ හෙවත් අල් කුර්ආන් විවරණයට අයත් වූවක් යන්නයි.
උස්මාන් රලියල්ලාහු අන්හු තුමාණන් තම පාලන සමයෙහි අල් කුර්ආනයේ පිටපත් සකස් කළේ පරිපූර්ණ අවධානයෙන් යුතුව බොහෝ සහාබිවරුන්ගේ* සහතික කිරීම් හා මුළු මුස්ලිම් ප‍්‍රජාවගේ තහවුරු කිරීම් සහිතවය. එමෙන්ම “එම කුර්ආන් පිටපත් නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් කෙරෙහි කුමන අන්දමින් පහළ වූයේද එලෙසින්ම ලියා ඇත්තේය” යන්නෙහි කිසිවෙකු අතර කිසිදු මතභේදයක් නොමැත.
එබැවින් කවුරුන් අල් කුර්ආනයෙහි “තහ්රීෆ්” හෙවත් විකෘති කිරීම් කර ඇති බවත්, අල් කුර්ආනය අංග සම්පූර්ණව පහළ වී නැති බවත්, අල් කුර්ආනය ග‍්‍රන්ථාරූඪ කිරීමෙහිදී නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ සගයින් වන සහාබිවරුන්* විශ්වාස ද්‍රෝහී වී ඇති බවත්, මුලින් ගොනු කළ අල් කුර්ආනය විකෘති කොට ඇති බවත් පවසන්නේද ඔවුන් අහ්ලූස් සුන්නති වල් ජමාඅත්වරුන්* අතුරින් බැහැර වූවන් වන්නෝය.

අල් කුර්ආනය සංරක්ෂණය කළ අන්දම පිළිබඳව ඉතිහාසය

අල් කුර්ආනය නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් කෙරෙහි දින කිහිපයකදී එකවර පහළ වූවක් නොවේ. එය කඩින් කඩ අවශ්‍යතාවන්ට අනුව පැහැදිලි කිරීම්, නීති පැනවීම්, නිර්දේශයන්, දිරි ගැන්වීම්, පිළිතුරු සැපයීම්, අභියෝග කිරීම්, ප‍්‍රශංසා කිරීම් හා අවවාදයන් යනාදී වශයෙන් පුරා වසර 23 ක් තුළ පහළ විය.
සම්පූර්ණ පහළ වීම දශක දෙකකට අධික කාලයක් පුරා පැවති හේතුවෙන් ද අල් කුර්ආන් ආයතයන් හා පරිච්ඡේදයන් පහළ වූ විගස ඒවා සිත්හි ධාරණය කිරීමට පමණක් වැඩි උනන්දුවක් දැක් වූ හේතුවෙන් ද නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් තමන්ට පහළ වූ අයුරින්ම එ්වා ඉදිරිපත් කළ හේතුවෙන් ද එතුමාණන්ගේ කීකරු අනුගාමිකයින් ඒවා සිත්හි ධාරණය කිරීමෙන් ඔබ්බට යමක් කිරීම ගැන සිතා නොබැලූහ.
ආරම්භයේ දී දීර්ඝ ආයතයන් එකවර පහළ වූ අවස්ථාවන්හි නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් ඒවා තමාට අමතක වනු ඇතැ’යි බියෙන් සහාබිවරුන්* වෙත වහා පැමිණ ඒවා කඩිනමින් නැවත කීමට උත්සාහ කරමින් මහත් අසීරුතාවට පත් වූ විට සර්ව බලධාරී අල්ලාහ් ‘කියාමා’ නම් සූරාව පහළ කරමින් අල් කුර්ආනය නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ මතකයේ රැඳවීම තමාගේ යුතු කමක් යැයි දිරි ගන්වමින් නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ බිය දුරු කළේය.

لا تُحَرِّك بِهِ لِسانَكَ لِتَعجَلَ بِهِ۝ إِنَّ عَلَينا جَمعَهُ وَقُرآنَهُ۝

(නබිවරය,) එය(අල් කුර්ආනය) ඉක්මන් (කර ධාරණය) කිරීම පිණිස නුඹගේ දිව මේ සඳහා නොසොල වවු. සැබැවින්ම එය (සිතෙහි එක්රැස් කර) තැන්පත් කිරීම ද එය පාරායනා කරවීම ද අප කෙරෙහි (වූ වගකීමක්) වන්නේය.” (අල් කුර්ආන් 75:16-17)

මෙලෙසින් ප‍්‍රාරම්භයේදී අල් කුර්ආනය සංරක්ෂණය වී තිබුණේ නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් ඇතුළු සහාබිවරුන්ගේ පිවිතුරු හදවත් තුළය. සෑම රමළාන් මාසකදීම එතෙක් පහළ වී තිබුණු සියලූ ආයතයන් ජිබ්රීල් අලෛහිසලාම් තුමාණන් ඉදිරියේ පාරායනය කිරීම නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ සිරිතක් විය. තවද ආයතයන් පහළ වූ වහාම ඒවා එලෙසින්ම සහාබිවරුන් අතරද පාරායනය කළහ. ආරම්භයේදී නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් ආයතයන් පිළිබඳව විග‍්‍රහයන් ඉදිරිපත් නොකළහ. එම ආයතයන් මතකයේ රඳවා ගැනීමට සහාබිවරුන් කෙතරම් උනන්දු වූවාද යත් ඒ සඳහා තරගකාරී තත්ත්වයක් එවකට පැවතුණි. එසේම එය වටිනා කාර්‍යයක් ලෙසද ඔවුන් අගය කළහ. විවාහයන්හි දී මනාලියට අනිවාර්යයෙන් ගෙවිය යුතු මහ්ර් ගෙවීම සඳහා තමා මනසේ ධාරණය කර ඇති ශුද්ධ කුර්ආනයේ සූරාවක්* හෝ ඇතැම් සූරාවන් මගින් ප‍්‍රදානය කරන තරමට හා එය ගෙවීමක් ලෙස පිළිගැණුනු අවස්ථා ද ඇතිවන තරමට එම වැකියන් අගනා වස්තූන් ලෙස අගය කළෝය. තවද අන්සාර්වරුන්* නම් වූ මදීනා වැසියන්ට මක්කා වැසියන් වූ මුහාජිර්වරුන්* අල් කුර්ආන් ආයතයන් ඉගැන්වූයේද එය ඉතා අගනා වස්තුවක් ලෙසය.
මේ අනුව අල් කුර්ආන් ආයතයක් හෝ කිසිවෙකුටත් සොරකම් හෝ විකෘති කළ නොහැකි තරමින් හදවත් තුළ තබා රැකබලා ගන්නා විශාල පිරිසක් කෙටි කාලකදීම බිහි වූහ. ඔවුන් අතර කලීෆාවරුන් සිව්දෙනා වන අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමාණන්, උමර් රලියල්ලාහු අන්හු තුමාණන්, උස්මාන් රලියල්ලාහු අන්හු තුමාණන් හා අලි රලියල්ලාහු අන්හු තුමාණන් වැනි ප‍්‍රමුඛයන් ඇතුළු තල්හා, සඃද් ඉබ්නු මස්ඌද්, හුදෙයිෆා ඉබ්නු යාමානි, සාලිම් (මවුලා අබි හුදෙයිෆා), අබූ හුරෙයිරා, අබ්දුල්ලාහ් ඉබ්නු උමර්, මුආවියා, අබ්දුල්ලාහ් ඉබ්නු zසුබෙයිර්, ආයිෂා, හෆ්සා, උම්මු සලමා රලියල්ලාහු අන්හුමා වැනි උතුම් සහාබිවරුන් සහාබිවරියන් බොහෝ දෙනෙකු වූහ. එකල අකුරු ලිවීමේ, කියවීමේ හැකියාව ඇත්තන් සීමිත පිරිසක් වූහ. එහෙයින් මතකයේ ධාරණය කර ගැනීම යන විශ්වාසනීය ක‍්‍රමය ඔවුන් තුළ ඉතා ප‍්‍රචලිතව පැවතුණි. එබැවින් කෙටුම්පත් කිරීමට වඩා මතකයේ රඳවා ගැනීම ඉතා ප‍්‍රත්‍යක්ෂ වූ හෙයින් මෙම තත්ත්වය එලෙසින්ම බොහෝ කල් පැවතුණි. (මනාහිලූල් ඉර්ෆාන් 1:234)

වහී කෙටුම්පත් කර ගැනීම

අරාබිකයින්ගේ සිරිත් පරිදි නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් මතකයේ රඳවා ගැනීම සමගම අල් කුර්ආනය ලියා තැබීමටද සැලසුම් කර තිබුණි. මේ පිළිබඳව zසයිද් ඉබ්නු සාබිත් රලියල්ලාහු අන්හු තුමාණන් නැමැති සහාබිවරයා මෙසේ පවසයි.
“මම නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ උපදෙස් පරිදි වහී* නම් දේව පණිවිඩ ලියන්නෙකුව සිටියෙමි. වහී පහළ වන විට එහි බැරෑරුම් බවින් එතුමාණන්ගේ නලළ දහදියෙන් තෙත් වී යයි. පසුව මම එතුමාණන් කියවන දෑ ඇට කටුවල හෝ ලෑලි කැබැලිවල කෙටුවෙමි. පසුව වැඩිදුරටත් නිවැරදි කර ගැනීම සඳහා එතුමාණන්ට කියවා පෙන්වන්නෙමි.” (මජ්මඋ අzස් zසවාඉද්, තබරානී 1:156)
zසයිද් ඉබ්නු සාබිත් රලියල්ලාහු අන්හු තුමාණන් සමග කලීෆාවරුන් සිව් දෙනාද උබෙයි ඉබ්නු කඃබ් රලියල්ලාහු අන්හු තුමාණන්, zසුබෙයිර් ඉබ්නු අව්වාම් රලියල්ලාහු අන්හු තුමාණන්, මුආවියා රලියල්ලාහු අන්හු තුමාණන්, මුගීරත් ඉබ්නු ෂුඃබා රලියල්ලාහු අන්හු තුමාණන්, කාලිද් ඉබ්නු වලීද් රලියල්ලාහු අන්හු තුමාණන්, සාබිත් ඉබ්නු කයිස් රලියල්ලාහු අන්හු තුමාණන්, අබාන් ඉබ්නු සඊද් රලියල්ලාහු අන්හු තුමාණන් යන සහාබිවරුන් ද වහී කෙටුම්පත් කළ අය අතර වූහ. වහී කෙටුම්පත් කිරීම සතුන්ගේ ඇටකටුවල ද සෙල්ලිපි ලෙසින් ද ඉඳි අතුවල ද සටහන් කර තිබුණු අතර මෙසේ ලියා තිබූ කොටස් ක‍්‍රමවත්ව එක්තැන් නොවී විවිධ පෙදෙස්වල විසිරී තිබුණි. (ෆත්හුල් බාරී 9:18)
කලීෆා අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ පාලන කාලයේ අල් කුර්ආනය එක්රැස් කළ යුතු යැයි එතුමා සිතුවේය. එයට තුඩු දුන් ප‍්‍රධාන හේතුව පිළිබඳව ‘කාතිබුල් වහී’ හෙවත් ‘වහී ග‍්‍රන්ථාරූඪ කරන්නා’ යන විරුදාවලියෙන් පිදුම් ලත් zසයිද් ඉබ්නු සාබිත් රලියල්ලාහු අන්හු තුමාණන් මෙසේ විස්තර කරයි.
‘යමාමා සංග‍්‍රාමයෙන් පසු කලීෆා අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමාණන් මා කැඳෙව්වේය. මා එතුමා හමුවීමට ගිය විට උමර් රලියල්ලාහු අන්හු තුමාද එහි සිටියේය. අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමා මා අමතා උමර් රලියල්ලාහු අන්හු තුමා පැවසූ කරුණක් පිළිබඳව මා දැනුවත් කළේය.
‘එනම් යමාමා යුද්ධයේදී අල් කුර්ආනය සිත්හි ධාරණය කළ බොහෝ ‘හාෆිල්වරු’ හෙවත් අල් කුර්ආනය හදවතේ මනනය කළවුන් බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. එසේ දිගින් දිගටම සිදුවූයේ නම් අල් කුර්ආනයේ බොහෝ කොටස් තුරන් වී යාමේ අවධානමක් ඇති විය හැක. එබැවින් එය වහා එක්රැස් කොට ග්‍රන්ථයක ස්වරූපයෙන් ආරක්ෂා කර ගත යුතු යැයි උමර් රලියල්ලාහු අන්හු තුමාණන් අදහස් කරන බව ද නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් කරන්නට නොයෙදුණු කාර්යයක් තමා කෙසේ කරම්ද? යැයි තමා ව්‍යාකූල වූ බව ද පසුව උමර් රලියල්ලාහු අන්හු තුමාගේ බලවත් ඉල්ලීම මත තමා එයට එකඟ වූ බව ද කලීෆා අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමාණන් පැවසුවේය. පසුව මා එතුමාට සමීපතම විශ්වාසවන්තයෙකු වන හෙයින් ද විචක්ෂණ බුද්ධියක් ඇත්තෙකු හෙයින් ද මෙම බරෑරුම් වගකීම මා හට භාරගන්නා ලෙස ඉල්ලා සිටියේය. මා නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ අවධියේදී වහී පහළ වීම් ලියාගන්නෙකු වීම ද එතුමාගේ මෙම තීරණයට තුඩු දුන් බව ද පැවසුවේය. නමුත් කලීෆා අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමාණන් මා හට කන්දක් ඉවත් කිරීමට අණ කර තිබුණේ නම් මා එය මෙතරම් බැරෑරුම් යැයි නොසිතමි. නමුත් එතුමා මා හට පැවරූ මෙම කාර්යය ඊට වඩා බැරෑරුම් හෙයින් මා පසුබට වූයෙමි. නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් නොකළ දෙයක් සඳහා මා ඉදිරිපත් වන්නේ කෙසේ දැ’යි එතුමාට තිබූ සැකයම මා ද ඉදිරිපත් කළෙමි. එයට කලීෆා අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමාණන් “අල්ලාහ් මා හට මෙම කාර්යය කිරීම සඳහා හදවත විවෘත කළේය. එබැවින් මෙය යහපත් කාර්යයකි” යැයි පවසා මා දිරිමත් කළේය. අල්ලාහ් මාගේ හදවත ද එයට අවනත කළේය. පසුව මා ද එයට එකඟ වූයෙමි. පසුව මා නොයෙක් පෙදෙස්හි කෙටුම්පත් කරනු ලැබ තිබුණු අල් කුර්ආන් ආයතයන් ඒකරාශී කිරීම ඇරඹුවෙමි. (සහීහ් අල් බුහාරි කිතාබ් අල් ෆලායිල්)
පෙර සඳහන් පරිදි මෙම භාරදූර වගකීම බාරගත් සහාබිවරයෙකු වන zසයිද් රලියල්ලාහු අන්හු තුමාණන් අල් කුර්ආනය සම්පූර්ණයෙන්ම සිතෙහි ධාරණය කර සිටි ‘හාෆිල්’වරයෙකු වූයේය. එබැවින් ඔහුටම එම කාර්යය කිරීමට තිබුණි. එසේම එවන් වූ සිය ගණන් හාෆිල්වරුන් එවකට සිටියෝය. ඔවුන්ගෙන් කණ්ඩායමක් යොදා එම කාර්යය සිදු කිරීමට තිබුණි. නමුත් ඔහු තමාගේ අභිමතයට අනුව එය නොකර මේ සඳහා විශේෂ කොන්දේසි කිහිපයක් යොදා ගත්තේය.
“මුතවාතිර්” හෙවත් “අඛණ්ඩ අනුප‍්‍රාප්තිය තහවුරු වන වාචික හා ලිඛිත සාක්ෂීන්” ලැබෙන තුරු ඔහු කිසිම ආයතයක් අල් කුර්ආනයට එකතු කළේ නැත. එයත් සමගම නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ නිරීක්ෂණය යටතේ ලියාගත් අයගෙන් ද ආයතයන් ලබා ගත්තේය. තවද කවරෙකු සතුව අල් කුර්ආන් ආයතයන් ඇත්තේද ඒ සියල්ල zසයිද් ඉබ්නු සාබිත් රලියල්ලාහු අන්හු තුමා වෙත ගෙන එන මෙන් සියල්ලන්ටම දැනුම් දුන්නේය. කෙනෙකු යම් ආයතයක් ගෙන ආවේ නම් ඒවා පහත පහත සඳහන් කරුණු සමග සසඳා බලා තහවුරු කර ගත්තේය.
  1. පළමුව තමාගේ මතකයේ ඇති අල් කුර්ආනය සමග ගෙන එන ලද කෙටුම්පත සසඳා බලා තහවුරු කර ගත්තේය.
  2. දෙවනුව උමර් රලියල්ලාහු අන්හු තුමා සමග එකතු වී ඔවුන්ගේ මතකයේ තිබෙන අල් කුර්ආනය සමග ද සසඳා බලා තහවුරු කර ගත්තේය. (ෆත්හුල් බාරී, ඉබ්නු අබී දාවුද්)
  3. නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ අවදියේ දී පහළ වී කෙටුම්පත් කළ බවට සාක්‍ෂි දෙකක් ස්ථිර කරන තුරු ඒවා තහවුරු කර නොගත්තේය. (අල් ඉත්කාන් 1:10)
  4. පසුව ලියා ගත් දෑ හැකි පමණ සහාබිවරුන් අතර සිටි හාෆිල්වරුන් හමු වී තහවුරු කර ගත්තේය. (අල් බුර්හාන් ෆී උලූමිල් කුර්ආන් 1:238)

zසයිද් ඉබ්නු සාබිත් රලියල්ලාහු අන්හු තුමා හැකි පමණින් ප‍්‍රවේශමෙන් අල් කුර්ආන් ආයතයන් එක්රැස් කර පත‍්‍ර පිටුවල ඒවා සකස් කළේය. නමුත් මෙසේ ග‍්‍රන්ථ ස්වරූපයට නගනු ලැබූ ප‍්‍රථම අල් කුර්ආනයට “أم” “උම්” හෙවත් “මව” යනුවෙන් නම් කරනු ලැබීය. එහි විශේෂත්වයන් කිහිපයක් විය.
එනම්,

  1. ආයතයන් නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් කී පිළිවෙලට යොදමින් පරිච්ඡේද සකස් කර තිබීම. නමුත් වර්තමානයේ පාරායනය කරනු ලබන අල් කුර්ආනයේ ඇති පරිච්ඡේද පිළිවෙල එම ග‍්‍රන්ථයේ එකට සැකසී නොතිබිණ. එනම් සෑම පරිච්ඡේදයක්ම තනි තනිවම සකස් වී තිබිණ.
  2. මෙම ග‍්‍රන්ථය ශෛලීන් 7 ක් අනුව පාරායනය කළ හැකි එකක්ව තිබුණි. (මන්හලූල් ඉර්ෆාන්1:246/තාරිකුල් කුර්ආන් 28)
  3. පාරායනය නොකළ යුතුව තිබූ المَنْسُوخ මන්සූඃහ් හෙවත් අවලංගු කරන ලද සියලු ම ආයතයන් පවා එකක් නොහැර ලියන ලදී.
  4. මෙම පිටපතේ අරමුණ වූයේ මුලු මහත් මුස්ලිම් ජනයාම අනුමත කළා වූ සකස් කරන ලද ලේඛනයක් සූදානම් කිරීමය. එබැවින් කවරෙකුට අවශ්‍යතාවක් ඇත්තේද ඔහුට එමගින් නිර්දේශයක් වෙත යොමු විය හැකව තිබුණි.
    මෙම ග‍්‍රන්ථය පළමුව කලීෆා අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමා භාරයේ ද පසුව ඔහුගේ අභාවයෙන් පසු උමර් රලියල්ලාහු අන්හු තුමාගේ භාරයේ ද පසුව හෆ්සා රලියල්ලාහු අන්හා තුමිය භාරයේ ද අවසානයේදී මර්වාන් ඉබ්නුල් හකම් තුමාණන්ගේ භාරයේ ද පැවතිණ. (ෆත්හුල් බාරී 9:16)

කලීෆා උස්මාන් රලියල්ලාහු අන්හු තුමාගේ වකවානුවේ අල් කුර්ආනය සංරක්ෂණය කළ ආකාරය

කලීෆා* වන උස්මාන් රලියල්ලාහු අන්හු තුමාගේ පාලන කාලය තුළ ඉස්ලාම් දහම අරාබි ප‍්‍රදේශයෙන් ඔබ්බට පැතිරී රෝමය, ඉරානය වැනි ‘අජම්’ හෙවත් අරාබි නොවන රාජ්‍යයන්ට පවා විහිදෙන්නට විය. එම රාජ්‍යයන්හි අරාබි නොවන මුස්ලිම්වරුන් එහි පැමිණෙන අරාබි මුස්ලිම් වෙළෙඳුන්ගෙන් ද දහම් ප‍්‍රචාර කටයුතු සඳහා පැමිණෙන අරාබි මුස්ලිම්වරුන්ගෙන් ද අල් කුර්ආනය ඉගෙන ගත්හ.
මේ කාල වකවානුවේදී එසේ උගන්වන අරාබි මුස්ලිම් භක්තිකයින් හා ඒ ඒ ශෛලීන් හිමි වාර්ගිකයින් එය තවත් කෙනෙකුට ඉගැන්වීමේ දී තමාගේ ශෛලයෙන්ම එය ඉගැන්වූහ. මෙම ශෛලීන් හත නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ අනුමැතිය මතම වූ බව දන්නා කාල වකවානුවේ දී කිසිදු ගැටළුවක් ඇති නොවීය. එහෙයින් ශෛලියේ හැර අරුතේ කිසිදු වෙනසක් නොවූ හෙයින් විශේෂයෙන් අරාබි ජාතික මුස්ලිම්වරුන් මෙම තත්ත්වය ගැටළුවක් කර නොගත්හ.
නමුත් ඉස්ලාම් දහම අරාබි නොවන රට වලට හා එහි ජන කොටස් වලට ව්‍යාප්ත වන විට මෙම ශෛලීන් පිළිබඳව වැටහීමක් නොමැති අරාබි නොවන මුස්ලිම්වරුන් තරමක ව්‍යාකූල භාවයකට පත් වන්නට වූහ. ඔවුනොවුන් විවිධ ශෛලීන්ගෙන් යුත් අරාබි මුස්ලිම්වරුන්ගෙන් අල් කුර්ආනය දැන උගත් නිසා එම අරාබි නොවන මුස්ලිම්වරුන් අතර මතභේද පැන නගින්නට විය. තම තමන් උගත් ශෛලියම අන් සියලු දෙනාම භාවිත කළ යුතු යැයි සියල්ලන්ම වාද කරන්නට වූහ. මේ සියල්ල වාචිකව අල් කුර්ආනය විවිධ ශෛලීන්වලින් ඉගෙන ගත් නිසාම ඇති විය. ලිඛිතව පැවතියේ එකල අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමාගේ භාරයේ තිබූ පෙර කී පිටපත පමණකි. එයද තිබුණේ මදීනා නගරයේ හෙයින් ඈත පෙදෙස්වල සිටින අයට එමගින් ඉගෙන ගැනීම නොව එය දැක බලා ගැනීමටවත් නොහැකිව තිබුණි.
උස්මාන් රලියල්ලාහු අන්හු තුමාණන් කලීෆාවරයා වූ පසු අල් කුර්ආන් පිටපත් කිහිපයක් උත්පාදනය කිරීමේ කාලීන අවශ්‍යතාව වටහාගෙන ඒ සඳහා කි‍්‍රයා කරන්නට වූහ. මෙම සිද්ධි මාලාව පිළිබඳව සම්පූර්ණ වාර්තා ඉතිහාස ග‍්‍රන්ථයන්හි සටහන් වී ඇත.
එම වකවානුවේ හුzසෙයිෆා රලියල්ලාහු අන්හු තුමා මුස්ලිම්වරුන් සුළුතරයක්ව ජීවත් වූ ආර්මේනියා හා අසර්බෙයිජාන් යන රටවලට ගිය විට එහි මුස්ලිම්වරුන් මෙම අර්බුදය ගැන එතුුමාට පැමිණිලි කළහ. ඔහු මදීනා නගරයට පැමිණි වහාම සිය කලීෆාවරයා හමු වී තත්ත්වය විස්තර කර සිටියේය. තවද යුදෙව් හා කිතුනු ආගමිකයන් තව්රාත්* ආගම පිළිබඳව ඇති කර ගත් මතභේද හා ගැටුම් මෙන් මුස්ලිම්වරුන් අතරද භේද ඇති විය හැකි බව ඔහු අනතුරු ඇඟවිය. කලීෆා උස්මාන් රලියල්ලාහු අන්හු තුමාට ද මෙවැනි තත්ත්වයන් පිළිබඳව නන් දෙසින් පැමිණිලි එමින් තිබුණි. එවකට සිටි ප‍්‍රමුඛ සහාබිවරුන්ගෙන් මෙම ශෛලීන් පිළිබඳව පිළියමක් පවසන මෙන් උස්මාන් රලියල්ලාහු අන්හු තුමා ඉල්ලා සිටියේය. එවිට ඔවුන් උස්මාන් රලියල්ලාහු අන්හු තුමාට ඔහුගේ අදහස කුමක් දැ’යි විමසුවෝය. එයට උස්මාන් රලියල්ලාහු අන්හු තුමා සිය අදහස දක්වමින් ලොව පුරා සිටින අරාබි නොවන මුස්ලිම්වරුන්ගේ තත්ත්වය සලකා බලන විට අල් කුර්ආනය එකම ශෛලයකින් පැවතීම යහපත් බව කියා සිටියහ. සියලු දෙනාම එම අදහසට එකඟ වූ අතර පසුව එතුමා හැකි පමණ වැසියන් එක්කොට දේශනයක් පැවතූහ. එනම්,
‘ජනයිනි ඔබලා මා සමීපයෙහි සිටින අවස්ථාවන්හි අල් කුර්ආන් ආයතයන් පිළිබඳ විවිධ අර්ථ කථනයන් ඉදිරිපත් කරමින් භේද වෙමින් අල් කුර්ආන් විෂයෙහි කෙනෙක් තවත් කෙනෙකුව වැරදි යැයි චෝදනා එල්ල කර ගනිමින් ද මෙම ශෛලීන් පාරයනය කිරීමෙහි වෙනස් කම් කරමින් ද සිටින්නෙහුය. එසේනම් මාගෙන් ඈත්ව ජීවත් වන අරාබි නොවන මුස්ලිම්වරුන්ගේ තත්ත්වය කෙසේ විය හැකි ද? එබැවින් අප සියලු දෙනා එක්සත් වී එකම අල් කුර්ආන් පිටපතක් වෙනුවෙන් එකඟ වෙමු’ යැයි පවසා හෆ්සා රලියල්ලාහු අන්හා තුමිය භාරයේ තිබුණු මව් ග‍්‍රන්ථය ලබා එය පිටපත් කිහිපයකට පත් කිරීමට කටයුතු කරමින් ඒ සඳහා මඬුල්ලක් ඇති කළහ. එයට zසයිද් ඉබ්නු සාබිත්, අබ්දුල්ලාහ් ඉබ්නු zසුබෙයිර්, සඊද් ඉබ්නුල් ආස්, අබ්දුර් රහ්මාන් ඉබ්නු හාරිස් ඉබ්නු හිෂාම් රලියල්ලාහු අන්හුම් යන සහාබිවරුන් ඇතුළත් වූහ. ඔවුන් අතුරින් zසයිද් රලියල්ලාහු අන්හු තුමාණන් පමණක් අන්සාරි හෙවත් මදීනා වැසියෙකු වූ අතර සෙසු අය මක්කා වැසියන් වූ කුරෙයිෂ් ගෝත‍්‍රිකයින් වූහ. එබැවින් උස්මාන් රලියල්ලාහු අන්හු තුමා එම සිව්දෙනාට “නුඹලා අතර හා zසයිද් තුමාණන් අතර අල් කුර්ආනය ලිවීමේ දී වෙනස් කමක් ඇති වූයේ නම් එවිට නුඹලා එය කුරෙයිෂ්වරුන්ගේ භාෂාවට අනුව ලියවු. මන්දයත් අල් කුර්ආනය පහළ වූයේ ඔවුන්ගේ භාෂාවට අනුව ය. මඬුල්ලට අයත් සහාබිවරුන් සිව් දෙනාම සිය කාර්යභාරය පහත අන්දමින් ඉටු කළහ.” (ෆත්හුල් බාරි 9 වෙළුම 13-15)

  1. අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමාගේ සමයෙහි එක්රැස් කළ අල් කුර්ආනය වර්තමානයේ තිබෙන අල් කුර්ආනය මෙන් පරිච්ඡේද එක් කොට නොතිබුණි. නමුත් මෙම මඬුල්ල එහි පරිච්ඡේද අනුපිළිවෙළට එක්කොට එක් පිටපතකට ගොනු කළෝය. (මුස්තද්රක් 2:229)
  2. තවද අරාබි භාෂාවට විශේෂිත වූ පිල්ලම් හා තිත් වැනි යෙදුම් නොමැතිව සෑම ශෛලයකටම අනුව කියවීමේ හැකියාව ඇතිව අකුරු පමණක් භාවිත කරමින් ලියූහ.
    උදාහරණ වශයෙන් මෙම අල් කුර්ආනයේ ඔවුන් ننسرها යැයි ලියා ඇත. එම අරාබි වචනය نُنْشِزُهَا යැයිද نَنْشُرُها යැයිද උච්චාරණය කළ හැක. (මනාහිලූල් ඉර්ෆාන් 1:253-254)
  3. මෙසේ මොවුන් විසින් ලියන ලද අල් කුර්ආන් පිටපත් 5 ක් යනුවෙන් හා තවත් වාර්තාවක 7 ක් යනුවෙන්ද සඳහන් වේ. ඒවායින් එකක් මදීනාවේ තබා අනෙක් ඒවා මක්කාවට ද සිරියාවට ද යෙමනයට ද බහ්රේනයට ද හා කූෆාවට ද බස්රාවට ද යවන ලදී.
  4. ඉහත පිටපත් කිරීම සඳහා පෙරදැරි කොට ගනු ලැබුවේ අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමාගේ කාලයේදී එක්රැස් කරන ලද ‘උම්’ නම් වූ මව් පිටපත වූ නමුත් වැඩිදුර ප‍්‍රවේසම සඳහා එම පළමු පිටපත සඳහා අනුගමනය කරන ලද සියලු නිර්දේශ හා නීතිරීතීන් නැවතත් මෙම පිටපත් සම්පාදනයේදී ද පිළිපදින ලදී.
  5. මෙසේ පිටපත් කිහිපයක් සම්පාදනය කිරීමත් සමගම කලීෆා උස්මාන් රලියල්ලාහු අන්හු තුමා විවිධ පෙදෙස්වල සහාබිවරුන් භාරයේ තිබූ අල් කුර්ආන් පිටපත් සියල්ල අත්පත් කර පුළුස්සා දැමූහ. මෙහි අරමුණ වූයේ පිළිගත් එකම උච්චාරණයකට අනුව සම්පාදනය වී ඇති එකම අල් කුර්ආන් පිටපතක් ලෙස ලොව පුරා පැවතීම යහපත් යැයි එතුමා සිතූ හෙයිනි.
    මෙම බැරෑරුම් කටයුත්ත කලීෆා උස්මාන් රලියල්ලාහු අන්හු තුමාණන් සියලු දෙනාගේම අදහස් විමසීමෙන් හා සාකච්ඡා කිරීමෙන් පසුව නිම කළේය. එම නිසාම අලි රලියල්ලාහු අන්හු තුමාණන් “උස්මාන් තුමාණන් පිළිබඳව යහපතක් මිස අන් කිසිවක් නොකියන්න. එතුමා සෑම දෙනාගේම අදහස් විමසමින් අල් කුර්ආනය වෙනුවෙන් ඉතා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළේය” යැයි පැවසුවේය. (ෆත්හුල් බාරි 9:15)

තෆ්සීරය හෙවත් අල් කුර්ආන් විවරණය සඳහා වූ මූලාශ‍්‍රයන්

  1. කීර්තිමත් අල් කුර්ආනය
    තෆ්සීර් කලාවේ මුල් මූලාශ‍්‍රය අල් කුර්ආනයයි. ඇතැම් විට අල් කුර්ආනයේ ඇතැම් ආයතයන්* කෙටියෙන් සඳහන් වී ඇති අතර එහි විග‍්‍රහය තවත් ආයතයක් මගින් විවරණය වී ඇත.
    උදා : සූරා අල් ෆාතිහාවේ ’(6) අපව ඍජු මගට රැගෙන යනු මැනව! (7) (එය කෙසේද යත්) ඔබ කවුරුන් කෙරෙහි ආශිර්වාද කළෙහි ද ඔවුන්ගේ මගයි.’
    මෙහි ‘කවුරුන් කෙරෙහි ආශිර්වාද කළෙහිද’ යන පදයේ මෙම පිරිස කවුරුන්දැ’යි සඳහන් වී නොමැත. මෙහි විග‍්‍රහය අල් කුර්ආනයේ තවත් ආයතයක සඳහන් වී ඇත. එනම්,
    “කවුරුන් අල්ලාහ්ට ද රසූල්වරයාට* ද අවනත වන්නේ ද ඔවුහු අල්ලාහ් ආශිර්වාද කළා වූ නබිවරුන්*, සිද්දීක්වරුන්*, ෂහීද්වරුන්* හා දැහැමියන් සමග වෙති.” (අල් කුර්ආන් 4:69)
    එබැවින් අල් කුර්ආන් විග‍්‍රහකයින් යම් ආයතයක් විවරණය කරන්නේ නම් පළමුව අල් කුර්ආනයේ එහි විවරණය ඇතිදැ’යි සොයා බලති. එසේ වී නම් ඔවුන් එයට මුල් තැන දෙති.
  2. හදීස්
    නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ වදන්, කි‍්‍රයාවන් හා අනුමත කළ දෑ සුන්නත් නොහොත් හදීස් යනුවෙන් හැඳින් වේ. අල්ලාහ් එතුමාණන්ට අල් කුර්ආනය පිරිනමා ජනයා වෙත එතුමාණන්ව යැවීමට හේතු වූයේ ඔවුනට එය පැහැදිලි කිරීමට හා එහි නිසි අර්ථය පහදා දීමටය. එතුමාණන් එම වගකීම තමාගේ වචනයෙන් හා කි‍්‍රයාවෙන් මනා ලෙස ඉටු කළේය. නියතවශයෙන්ම එතුමාගේ සම්පූර්ණ ජීවිතයම අල් කුර්ආනයේ ප‍්‍රායෝගික විවරණයක් විය. මේ හේතුවෙන් අල් කුර්ආන් විග‍්‍රහකයින් අල් කුර්ආන් විග‍්‍රහයේ දෙවන මූලාශ‍්‍රය ලෙස නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ හදීසය දක්වා ඇත. උදා - පස්වේල නැමදුම එහි අනිවාර්යය බව අල් කුර්ආනයේ සඳහන් වුවද එය ඉටු කරන්නා වූ අන්දම නබිවදන් මගින් විවරණය කොට ඇත.
    එහෙයින් අල් කුර්ආනය පමණක් විශ්වාස කොට නබිවදන් ප‍්‍රතික්ෂේප කිරීම ඉස්ලාමයෙන් බැහැර වීමක් වන්නේය. මන්දයත් ශුද්ධ වූ අල් කුර්ආනයෙහි

    وَما آتاكُمُ الرَّسولُ فَخُذوهُ وَما نَهاكُم عَنهُ فَانتَهوا ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَديدُ العِقابِ

    “තවද රසූල්වරයා* නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනිවු. ඔහු නුඹලාට කුමක් තහනම් කළේ ද (එයින්) වැළකී සිටිවු. අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.” (අල් කුර්ආන් 59:7)
  3. සහාබිවරුන් විසින් දැන් වූ වාර්තාවන්
    සහාබිවරුන් යනු නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ නබිත්වය විශ්වාස කොට එතුමන්ව බැහැදැක ඒ අයුරින්ම මරණයට පත් වූ අනුගාමිකයින් වේ. මොවුන් සියල්ලන් සැදැහැමියන් වූ අතර මොවුන් අල්ලාහ්ගේ තෘප්තියට පාත‍්‍ර වූවන් යැයි අල් කුර්ආනයේ සඳහන්ව ඇත. ගෞරවනීය මොවුන් නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගෙන් ඍජුවම දැනුම ලබා ගත්තවුන්ය. එයට අමතරව එතුමාණන් වෙත වහී* නම් දේව පණිවිඩ පහළ වන විට ඔවුන් එහි සම්මුඛව සිටියෝය. තවද එම ආයතයන් පහළ වීමට හේතු වූ පසුබිම් ද දැන සිටියෝය. එබැවින් අල් කුර්ආනය පැහැදිලි කිරීම විෂයයෙහි ඔවුන්ගේ ප‍්‍රකාශය ඉතා විශ්වාසනීය හා ස්ථාවරව තිබුණි. ඔවුන්ගෙන් පසුව පැමිණෙන්නන්ට මෙම සුවිශේෂී තත්ත්වය ලැබීමට හැකියාවක් නොතිබුණි. අල් කුර්ආනයේ ඇතැම් ආයතයන් විග‍්‍රහ කිරීමේදී ඒ පිළිබඳව අල් කුර්ආනයේ වෙනත් ආයතයක හෝ නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ හදීසයන්හි නොවූයේ නම් සහාබිවරුන්ගේ ප‍්‍රකාශයට මුල් තැනක් දෙනු ලැබේ. සහාබිවරුන්ව පිළිකුල් කිරීම හා මනසින් අවතක්සේරු කිරීමද ප‍්‍රතික්ෂේපකයෙකුගේ සළකුණක් යැයි අල් කුර්ආනය (48:29) අවධාරණය කරයි.
  4. තාබිඃවරුන් දැන්වූ වාර්තාවන්
    සහාබිවරුන්ගෙන්* පසුව පැමිණි අයට තාබිඃවරුන් යැයි පවසනු ලැබේ. ඔවුන් අල් කුර්ආනයේ විවරණය සහාබිවරුන්ගෙන් ඉගෙන ගත්තෝය. එබැවින් ඔවුන්ගේ ප‍්‍රකාශයන්ට ද තෆ්සීර් ක්ෂේත‍්‍රයේ වැදගත් තැනක් දී ඇත. ඇතැම් විශාරදයින් අතර අල් කුර්ආන් විවරණයේ මොවුන්ගේ ප‍්‍රකාශයන් ස්ථිර සාධකයක් ලෙස ගත හැක්කේ දැ’යි මතභේදයක් පවතී. (අල් ඉත්කාන් 2:179) නමුත් ඔවුන්ගේ වැදගත්කම ප‍්‍රතික්ෂේප කළ නොහැක.
  5. අරාබි භාෂාව
    අල් කුර්ආනය අරාබි භාෂාවෙන් පහළ වූ හෙයින් අල් කුර්ආනය විවරණය කිරීමට මෙම භාෂාවේ සම්පූර්ණ නිපුණත්වයක් තිබීම අනිවාර්යය වන්නේය. අල් කුර්ආනයේ ඇතැම් ආයතයන්, ඒවා පහළ වීමට හේතු වූ කිසිදු පසුබිමක් නොමැතිවම පැමිණ ඇත. මෙවැනි ආයතයන් සඳහා වූ විවරණයන් අල් කුර්ආනයේ ද නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ගේ හදීස්හි* ද සහාබිවරුන්ගේ හෝ තාබිඃවරුන්ගේ ප‍්‍රකාශයේ ද නොවීය. එබැවින් මෙම ආයතයන් විවරණ කළ හැක්කේ අරාබි භාෂා සාහිත්‍ය පදනම් කරගෙන පමණි.
  6. අල් කුර්ආන් පරිශීලනය හා නිගමනය
    තෆ්සීර් හෙවත් අල් කුර්ආන් විවරණයේ අවසාන මූලාශ‍්‍රය වන්නේ පරිශීලනය හා නිගමනයයි. අල් කුර්ආනයේ ඇති සැඟවුණු අර්ථයන් අන්තයක් නොමැති මහා සාගරයක් මෙනි. එබැවින් ඉස්ලාමය පිළිබඳව ගැඹුරු දැනුම ලැබූවෙකු කෙතරම් දුරට ඒවා පරිශීලනය කරන්නේද ඔහුට එම සැඟවුණු අර්ථයන් පිළිබිඹු වේ. එම සැඟවුණු අර්ථයන් පිළිගනු ලබන්නේ ඉහත සඳහන් මූලාශ‍්‍රයන් පහට පටහැණි නොවූයේ නම් පමණි. එබැවින් කෙනෙකු අල් කුර්ආනය විග‍්‍රහ කිරීමේදී අල් කුර්ආනයට හා හදීසයට, ඉජ්මා නම් ඒකමතිකභාවයට, භාෂාවට, සහාබිවරුන්ගේ හා තාබිඃවරුන්ගේ ප‍්‍රකාශයන්ට හෝ ඉස්ලාමීය නීති සංග‍්‍රහයේ මූලධර්මයන් වලට පටහැණි වන්නේ නම් එය පිළිගනු නොලබන්නේය. (අල් ඉත්කාන් 2:184)

අල් කුර්ආන් හා නබි වදන් අරුත දැක්වීම පිළිබඳ පිළිගත් පොදු නීතිරීති

යමෙකු අල් කුර්ආනයට අරුත දක්වන විට අනිවාර්යයෙන්ම ඔහු තෆ්සීර් හෙවත් අල් කුර්ආන් විවරණය වෙත යොමු විය යුතුය. තවද අල් කුර්ආනය පිළිබඳව අර්ථ දැක්වීමකදී අනුගමනය කළ යුතු නීතිරීති පිළිබඳ සංක්ෂිප්ත විග‍්‍රහයක් පහත සඳහන් වේ.
  1. අල් කුර්ආනය අවබෝධ කර ගැනීම පිණිස සන්දර්භය වටහා ගැනීම අනිවාර්ය වේ. මෙසේ සන්දර්භයේ වැදගත්කම විදහා දක්වන පහසු උදාහරණයක් පහතින් උපුටා දැක්වේ.
    “එබැවින් සලාතය* ඉටු කරන්නන් කෙරෙහි විනාශය අත් වේවා!” (අල් කුර්ආන් 107:4)
    මෙම අල් කුර්ආන් ආයතය පමණක් කියවා තේරුම් ගන්නා අයෙකු කිසි දිනෙක සලාතය එනම් ඉස්ලාමීය ඉගැන්වීම් අනුව දෛනිකව පස් වතාවක් ඉටු කළ යුතු අනිවාර්යය නැමදුම ඉටු නොකරනු ඇත. මෙම ආයතය නිවැරදිව අවබෝධ කර ගැනීම පිණිස එයට පෙර හා පසු ආයතයන් කියවා අවබෝධ කර ගැනීම සඳහා සන්දර්භය අත්‍යවශ්‍ය වෙයි. එම නිසා මෙම 4 වන ආයතයට ආශ‍්‍රිත 5 හා 6 වැනි ආයතයන් පහත දැක්වේ.
    “එබැවින් සලාතය ඉටු කරන්නන් කෙරෙහි විනාශය අත් වේවා!” (අල් කුර්ආන් 107:4)
    “ඔවුන්ගේ සලාතය පිළිබඳව නොසැලකිලිමත්ව සිටින්නන් ඔවුන්මය.” (අල් කුර්ආන් 107:5)
    “(තම ක‍්‍රියාවන් පිළිබඳව අන් අයට) උජාරුපාන්නන් ඔවුන්මය.” (අල් කුර්ආන් 107:6)
    විනාශය වෙත යොමු වන අයුරින් සලාතය ඉටු කරන්නන් කවරෙකු ද යත් නොසැලකිලිමත්ව හා අන් අයට පෙන්වීම සඳහා සලාතය ඉටු කරන්නන් බව එම පරිච්ඡේදයේම 5 හා 6 වැනි ආයතයන්ගෙන් ඉතා පැහැදිලිව විග‍්‍රහ වේ.
  2. අල් කුර්ආනය අවුරුදු 23 ක් තිස්සේ ඒ ඒ අවස්ථාවට අනුකූලව හා අවශ්‍යතාවට අනුව මුළු මිනිස් වර්ගයාගේ මග පෙන්වීම සඳහා අල්ලාහ් විසින් නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන්ට පහළ කරනු ලැබීය. එබැවින් අල් කුර්ආනය පිළිබඳ අර්ථ විග‍්‍රහයක් කිරීමට නම් ඉස්ලාමීය ඉතිහාසය පිළිබඳ ගැඹුරු හා නිවැරදි දැනුමක් තිබීම ඉතා වැදගත් වේ. මේ ආකාරයෙන්ම නබි වදන් විග‍්‍රහ කිරීමේදී පවා ඉතිහාසය හා එම අවස්ථාවන් පිළිබඳ දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ.
  3. එලෙසම ඇතැම් අල් කුර්ආන් ආයතයන්හි විග‍්‍රහයන් එහි සන්දර්භයෙන් බැහැර අනෙකුත් අල් කුර්ආන් වදන්හි ද අන්තර්ගතව ඇත. එහෙයින් අල් කුර්ආනය නිවැරදිව අවබෝධ කර ගැනීම පිණිස සම්පූර්ණ අල් කුර්ආනය පිළිබඳව දැනුමක් තිබීම ඉතාම වැදගත් සාධකයක් බව සඳහන් කළ යුතුව ඇත. මත්පැන් තහනම් කිරීම පිළිබඳව අල් කුර්ආනයේ ඉගැන්වීම සම්පූර්ණ ලෙස අවබෝධ කර ගැනීමට නම් මේ සම්බන්ධයෙන් ඇති ආයතයන් සියල්ල සමස්තයක් වශයෙන් හා එහි කාල වකවානු අනුව අවබෝධ කරගත යුතු වේ. මේ පිළිබඳව ඇති ඉගැන්වීම් අල් කුර්ආනයේ විවිධ පරිච්ඡේදයන්හි අන්තර්ගත වී ඇති අතර සම්පූර්ණ අල් කුර්ආනය පිළිබඳව දැනුමකින් තොරව මේ පිළිබඳව ඇති එක් ආයතයක් පමණක් ගෙන විග‍්‍රහයක යෙදීම විකෘති මතයක් ඇති වීමට නියත වශයෙන්ම හේතු වේ.
  4. තවත් විටෙක අල් කුර්ආන් ආයතයන් පිළිබඳ විග‍්‍රහයක් නබි වදන්හි තිබිය හැක. එහෙයින් අල් කුර්ආන් පිළිබඳව නිවැරදි අවබෝධයක් සඳහා නබි වදන් පිළිබඳ දැනුම ද වැදගත් සාධකයකි. සලාතය, උපවාසය, zසකාතය හා හජ් වැනි ඉස්ලාමයේ වැදගත් ආගමික පිළිවෙත් පිළිබඳව අල් කුර්ආනය ඉතා කෙටි විග‍්‍රහයක් ලබා දෙන අතර ඒවා ඉටු කිරීමේ සම්පූර්ණ ක‍්‍රමවේදය නබි වදන් හි අන්තර්ගත වී ඇත.
  5. අල් කුර්ආන් ආයතයන් පහළ කළ ඓතිහාසික සන්දර්භය හා හේතුව හෙවත් අස්බාබ් අල් නුzසූල් පිළිබඳ කලාව දැන සිටීම ද වැදගත් වේ. කවුරුන් සඳහා කුමන අවස්ථාවක කුමක් සඳහා පහළ කරන ලද්දේ ද යන්න පිළිබඳව නිවැරදි දැනුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. උදාහරණ වශයෙන් ‘ආදේශකයින්ව දුටු තැන මරා දමවු’ යන අල් කුර්ආන් 9:5 වැකිය පාද සටහන සමග බලන්න.
  6. අල් කුර්ආනයේ අරාබි භාෂා යෙදුම ඉතාම උත්තරීතර තත්ත්වයකින් යුක්ත වන අතර එයට සම කළ හැකි භාෂා ශෛලියක් මුළු අරාබි සාහිත්‍යයේම නොමැති බව මුස්ලිම් හා මුස්ලිම් නොවන අරාබි භාෂා විශේෂඥයින්ගේ මතයයි. එම භාෂා දැනුම නොමැතිව අල් කුර්ආනයට අර්ථ දැක්වීම් ඉදිරිපත් කිරීම බරපතල අර්ථ විකෘතිවීම් වලට හේතු විය හැක. එහි යොදා ඇති ආයතයන් පිළිබඳව අර්ථ රාශියක් තිබිය හැකි අතර පරිපූර්ණ අල් කුර්ආනය පිළිබඳව සම්මත නීති රීතීන් (Sciences of Al Quran) නොදැන අර්ථ දැක්වීම නුසුදුසු ක‍්‍රියාවකි.
  7. අල් කුර්ආන් අර්ථ දැක්වීම පිළිබඳ විශේෂඥයින්ගේ හා අනෙකුත් ඉස්ලාමීය විද්වතුන්ගේ විග‍්‍රහයන් ද ඉතාම වැදගත්ය. රටක ක‍්‍රියාත්මක සාමාන්‍ය නීතිය විග‍්‍රහ කිරීමේදී ද එම නීතිය සම්පාදන කිරීමට හේතු වූ පසුබිම, එය එක් සංසිද්ධියක් උදෙසා පමණක් සීමා වුවක් ද, එම නීතිය සම්මත කිරීමේදී ඉදිරිපත් කරන ලද අරමුණු, එම නීතිය උපයෝගී කරගනිමින් දෙන ලද නඩු තීන්දු, නීති විශාරදයින් විසින් දෙන ලද විග‍්‍රහයන් හා එම නීතියට අදාළ භාෂාමය විග‍්‍රහය ආදිය ගැන සලකා බැලීම සාමාන්‍ය සම්ප‍්‍රදායකි.

අල් කුර්ආනය පහසුවෙන් පාරායනය කිරීම සඳහා ගන්නා ලද ඇතැම් පියවර

කලීෆා උස්මාන් රලියල්ලාහු අන්හු තුමා ඉටු කළ මෙම මිල කළ නොහැකි මහඟු සේවයෙන් පසු එයට පටහැණි වෑයමක් නොගන්නා බවට එකල විසූ හා ඉන් පසු කාලවල පැමිණි ධර්ම විශාරදයින් තීන්දු කර ගත්හ. උස්මාන් රලියල්ලාහු අන්හු තුමාගේ මෙම සම්පාදනය පිටපත් කිහිපයකට නගා ලොව නන් දෙසට යවන ලදී. කෙසේ වුවද මෙම සම්පාදනයෙහි කියවීම පහසු කරවන ෆත්හා, කස්රා, ලම්මා, නුක්තා යන යෙදුම් නොමැති නිසා අරාබි නොවන අය මඳ අපහසුතාවකට පත් වූහ. පසු කලෙකදී එම යෙදුම් සහිත පිටපත් බොහෝමයක් බිහි විය. මෙය අරාබි භාෂාවේ සම්ප‍්‍රදායන් අනුගමනය කරමින් කියවීම පහසු කරවීම පිණිස වූ පියවරක් පමණක් වූ අතර අර්ථයේ කිසිදු ආකාරයක වෙනස්කමක් මෙමගින් සිදුවී නොමැත.ක
උස්මාන් රලියල්ලාහු අන්හු තුමාගේ ඉහත සාධනයෙන් පසු උස්මානි අක්‍ෂර භාවිත නොකර අන් ලෙසකින් අල් කුර්ආනය ලිවීමට අනුමැතිය ලබා නොදිය යුතුයි යන එකඟතාවට මුස්ලිම් ලෝකයා එළැඹුණහ. එයින් පසු වකවානුවල පැමිණි මුස්ලිම් වියතුන් සියල්ලන්ම අල් කුර්ආනය ලිවීමට මෙම ක‍්‍රමය අනුගමනය කළහ. ඒ අනුව ලොවෙහි විවිධ ප‍්‍රදේශවලට අල් කුර්ආනයේ පිටපත් යවන්නට ද කටයුතු කරන ලදී. එසේ වුවද මේ වන විට ලොව විවිධ අරාබි නොවන රටවලට පවා ඉස්ලාමය පැතිරෙන්නට වූ තත්ත්වයක එක් සංකීර්ණ ගැටළුවක් ඇති විය. එනම් උස්මානි අක්‍ෂර ක‍්‍රමයට නැවතීමේ ලකුණු සහ ප‍්‍රාණාක්‍ෂර වැනි දේ ඇතුළත් නොවු නිසා අරාබි බස ඉගෙන නොගෙන අකුරු පමණක් ඉගෙන ගන්නට වූ විවිධ රටවල අරාබි නොවන මුස්ලිම්වරුන්ට අල් කුර්ආනය කියවීම ඉතා අසීරු විය. මෙම ප‍්‍රශ්නය නිරාකරණය කිරීමට පියවර කිහිපයක් ගන්නා ලදී.
තිත් යෙදීම
තිත් නොමැතිව අල් කුර්ආනය කියවීම අරාබින්ට අසීරු නොවූ අතර සැක සහිත - එනම් අරුත් වැඩි ගණනක් ඇති- වචන වටහා ගැනීමට ඔවුන් අදාළ සිද්ධියේ පසුතලය පදනම් කරගනිමින් එයින් විග‍්‍රහ ලබා ගත්හ. එසේ වුවද අල් කුර්ආනය ප‍්‍රාරම්භයෙහි සංරක්ෂණය කරන ලද්දේ ලියා තැබීමට වඩා සිත්හි ධාරණය කර ගැනීම මගින් වන අතර අල් කුර්ආන් පිටපත් විවිධ ප‍්‍රදේශවලට යවන විට උස්මාන් රලියල්ලාහු අන්හු තුමා අල් කුර්ආනය කටපාඩමින් පාරායනය කර සිටි හාෆිල්වරුන්ව ද එසමගම යැවුහ. ඔවුන් අල් කුර්ආනය පාරායනය කරන හැටි අන් අයට ප‍්‍රායෝගිකව ඉගැන්වූහ.
අල් කුර්ආනයට තිත් සලකුණු පළමුවරට එක් කරන ලද්දේ අබූ අල් අස්වද් අල් දුආලි රලියල්ලාහු අන්හු තුමාණන් විසින් යැයි ද කුෆා ප‍්‍රදේශයේ ආණ්ඩුකාරවරයා සියාද් බින් අබූ සුෆ්යාන්ගේ නිර්දේශය පරිදි එය අලි රලියල්ලාහු අන්හු තුමාණන් විසින් කරන ලද්දේ යැයි ද විවිධ අන්දමින් වාර්තා වී ඇත. තවත් සටහනක් අනුව සඳහන් වී ඇත්තේ මෙයට මූලික වුයේ හසන් අල් බසරී, යහ්යා බින් යාමුර් සහ නසර් ඉබ්න් ආසිම් අල් ලයිති ආදින්ගේ සහය සහිතව හජ්ජාජ් බින් යූසුෆ් මෙම කාර්යය සිදු කර ඇත යන්නය.
තෆ්සීරුල් කුර්තුබීහි මෙසේ සඳහන් වෙයි. ‘තිත් යෙදීම මෙන්ම පිල්ලම් යෙදුමද ආරම්භයෙහි අල් කුර්ආනයට නොතිබුනු අතර පසුව මෙය යොදන ලදී. මෙයට දායක වුවන් පිලිබඳව විවිධ මත පවතියි. එය කරන ලද්දේ අබූ අල් අස්වද් අල් දුආලි රලියල්ලාහු අන්හු විසින් යැයිද යහ්යා බින් යාමුර් සහ නසර් ඉබ්නු ආසිම් අල් ලයිති ආදින්ගේ සහය සහිතව හජ්ජාජ් බින් යූසුෆ් විසින් මෙම කාරිය සිදු කරන ලද්දේය.’ (තෆ්සීරුල් කුර්තුබී 1:63)
පිල්ලම් යෙදුම පළමුවෙන් සොයා ගන්නා ලද්දේ අබු අල් අස්වද් අල් දුආලි රලියල්ලාහු අන්හු තුමාණන් විසින් යැයි පෙනෙන අතර වර්තමානයෙහි එම සලකුණු වෙනස් වී ඇත. ෆත්හා යන පිල්ලම වෙනුවට අක්ෂරය උඩින් තිතක් ( . ) ද, කස්රා යන පිල්ලම වෙනුවට අක්‍ෂරය පහලින් තිතක් ( . ) ද, ලම්මා යන පිල්ලම වෙනුවට අක්ෂරය ඉදිරියේ තිතක් (. )ද, තන්වීන් සඳහා තිත් දෙකක් උඩින් ( .. ) හෝ යටින් ( .. ) ද යොදන ලදී. හම්zසා හා තශ්දිද් සඳහා වන සලකුණු පසු කලෙක සොයා ගන්නා ලද්දේ කලීල් ඉබ්නු අහ්මද් තුමාණන් විසිනි. ඉන් අනතුරුව අල් කුර්ආනයට තිත් යොදන මෙන් හා පිල්ලම් යොදන මෙන් යහ්යා බින් යාමුර් සහ නසර් ඉබ්නු ආසිම් අල් ලයිති තුමාණන්ට හජ්ජාජ් බින් යූසුෆ් උපදෙස් කර ඇත. මෙවිට වර්තමානයේ අල් කුර්ආනයෙහි භාවිත වන පිල්ලම් යෙදීමේ ක‍්‍රමවේදය හා තිත් යෙදීමේ ක‍්‍රමවේදය සම්මත කරන ලදී.
අහ්zසාබ් නොහොත් මනාzසිල්
අල් කුර්ආනය සෑම සතියකට වරක්ම පාරායනය කර අවසන් කිරීම සහාබිවරුන් හා තාබියීන්වරුන්ගේ සිරිතක් විය. මේ සඳහා දිනපතා පාරායනය කළ යුතු ආකාරයෙන් ඔවුන් අල් කුර්ආනය කොටස් 7 කට වෙන් කර ගත්හ. මෙයට අහ්zසාබ් (හිzස්බ් යන පදයේ බහු වචනය) හෙවත් මනාzසිල් (මන්zසිල් යන පදයේ බහුවචනය) යැයි කියනු ලැබේ. (අල් බුර්හාන් 1:250)
අජ්zසා හෙවත් කොටස්
වර්තමානයෙහි අල් කුර්ආනය සමාන කාණ්ඩ 30 කට බෙදා ඇති අතර මෙය ජුzසු යන පදයේ බහු වචනය වන අජ්zසා හෙවත් කොටස් යැයි කියනු ලැබේ. මෙය පරිච්ජේද අනුව හෝ තේරුම අනුව කරන ලද කාණ්ඩ කිරීමක් නොවේ. මෙසේ බෙදන විට වාක්‍ය මැදින් පවා වෙන් වී ඇති බව නිරීක්ෂණය කළ හැක. මෙසේ වෙන් කරන ලද්දේ ළමුන්ට අල් කුර්ආනය ඉගැන්වීමේ පහසුව තකාය. මෙසේ වෙන් කරන ලද්දේ කවුරුන් විසින්ද යන කරුණ පැහැදිලි නැත. ඇතැම් විට අල් කුර්ආනයේ පිටපත් සම්පාදනය කරන විට උස්මාන් රලියල්ලාහු අන්හු තුමාණන් මෙසේ කරන්නට ඇතැයි යන මතයක් පවතියි. ඉපැරණි පාඨශාලාවල භාවිත කළ සියලුම අල් කුර්ආන් පිටපත් මෙලෙසින් කාණ්ඩ 30 කට වෙන් කර තිබූ බව අල්ලාමා බද්ර් අද්දීන් අල් zසර්කශී තුමාණන් පවසයි. (අල් බුර්හාන් 1:250, මනාහිලූල් ඉර්ෆාන් 1:402)
අඃක්මාස් සහ අඃෂාර් (පහේ සහ දහයේ කාණ්ඩ)
පසුගිය ශත වර්ෂ වල අල් කුර්ආන් පිටපත්වල දක්නට ලැබුනු දෙයක් නම් ආයතයන් පහකින් පසු اخماس : පහ, හෝ එහි කෙටි යෙදුම වන (خ) යැයි ද ආයතයන් දහයකින් පසු عشر : දහය, හෝ එහි කෙටි යෙදුම වන (ع) යැයි ද එහි අග සඳහන් කිරීමය. මෙයට අඃක්මාස් اخماس හෙවත් පහේ කාණ්ඩය හා අඃෂාර් اعشار හෙවත් දහයේ කාණ්ඩය යනුවෙන් හඳුන්වනු ලැබූහ. මෙසේ ලකුණු යෙදීමට ඇතැම් විද්වතුන් අනුමැතිය පළ කළද තවත් ඇතැමුන් මෙය මක්රූහ් පිළිකුල් සහගත ක‍්‍රියාවක් යැයි පළ කළහ. මෙසේ කරන ලද්දේ කවුරුන් විසින් දැ’යි නිශ්චය වශයෙන්ම පැවසීමට නොහැකි නමුත් ඇතැමුන් හජ්ජාජ් බින් යුසුෆ් යැයි ද අබ්බාසි කලීෆාවරයෙකු වු අල් මාමුන් විසින් යැයි ද වෙනස් මත දරති. එසේ වුවද අඃෂාර් යන මතය සහාබිවරුන්ගේ කාලයේ සිටම පවතින හෙයින් ඉහත මත එතරම් වලංගු වන්නේ නැත. උදාහරණයකට අල් කුර්ආනයේ අඃෂාර් සලකුණු කිරීම මක්රූහ් යැයි අබ්දුල්ලා ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හු තුමාණන් පැවසු බව ප‍්‍රකට තාබියීන්වරයෙකු වන මස්රුක් තුමාණන් දන්වා ඇත. (මුසන්නිෆ් ඉබ්නු අබී ෂයිබා 2:497)
රුකූඃ යනුවෙන් හැඳින්වෙන කොටස්
පසු කාලයෙහි අඃක්මාස් හා අඃෂාර් සලකුණු කිරීම අත් හරින ලද අතර පසුව පැමිණි රුකුඃ සලකුණ ක‍්‍රමය අද වන තුරු යොදනු දැකිය හැකිය. මෙය යම් සිද්ධියක් හෝ ප‍්‍රකාශයක් අවසන් වන විට (ع) නැමැති අක්ෂරය යොදා තිබීමයි. සලාතයේ රකඅත් එකකදී පාරායනය කළයුතු කොටසක් වෙන් කර දීම මෙහි අරමුණ වන බව පැහැදිලිය. මෙයට රුකූඃ යැයි පවසනු ලබන්නේ එය අවසන් වු විට සලාතයේදී තුනටිය නමා දනහිස් අල්ලා සිටින ඉරියව්ව වන රුකූඃ නම් ඉරියව්වට අවතීර්ණ වන හෙයිනි. අල් කුර්ආනයේ එවන් රුකූඃ 540 ක් ඇත. (ෆතාවා අල් මුඃගීරා, ෆස්ලූත් තරාවීහ් 1:94)
රුමුzස් අල් අව්කාෆ් හෙවත් නැවතීමේ සලකුණු
තිලාවා හෙවත් ස්වර ශික්ෂාව අනුව පාරායනය හා තජ්වීද් හෙවත් නිවැරදි උච්චාරණයෙන් පාරායනය යන නිවැරදි පාරායන ක‍්‍රමයන් අනුගමනය කිරීම පහසු කරනු පිණිස රුමුzස් අලාමාත් හා අව්කාෆ් නැමැති නිසි නැවතීමේ හා හුස්ම ගැනීමේ තැන් පෙන්වන ක‍්‍රමයක් පසුව හඳුන්වා දෙන ලදී. අරාබි බස කියවන්නට පමණක් දන්නා, එහෙත් අරුත නොවැටහෙන මුස්ලිම්වරුන් අල් කුර්ආනය පාරායනය කරන විට අරුත වෙනස් නොවනු පිණිස පාරායනය නැවැත්විය යුතු තැන් හා නොනැවැත්විය යුතු තැන් පෙන්වා දීම මෙහි අරමුණයි. මෙම සලකුණු හඳුන්වා දෙන ලද්දේ අල්ලාමා අබූ අබ්දුල්ලාහ් මුහම්මද් ඉබ්නු තයිෆුර් සජාවන්දි තුමා විසිනි. (අන් නෂ්ර් ෆී කිරාඅතිල් අෂ්ර් 1:225) මෙම සලකුණුවල විස්තරය පහත දක්වා ඇත.
  • (ط) - මෙම අක්‍ෂරය අල් වක්ෆ් අල් මුත්ලක් යන්නෙහි කෙටි යෙදුමයි. මෙයින් පෙන්වන්නේ එක් ප‍්‍රකාශයක් මෙහි අවසන් වන බව හා මෙහි පාරායනය මඳක් නැවැත්වීම සුදුසු බවයි.
  • (ج) - මෙම අක්‍ෂරය අල් වක්ෆ් අල් ජායිzස් යන්නෙහි කෙටි යෙදුමයි. මෙහි දී පාරායනය නැවැත්වීමට අවසරය ඇත.
  • (ز) - මෙම අක්‍ෂරය අල් වක්ෆ් අල් මුජව්වzසා යන්නෙහි කෙටි යෙදුමයි. මෙහි දී පාරායනය නැවැත්වීම එතරම් සුදුසු නැත.
  • (ص) - මෙම අක්‍ෂරය අල් වක්ෆ් අල් මුරක්කාස් යන්නෙහි කෙටි යෙදුමයි. ඉතා දිග ආයතයක අතර මැද මඳක් නවතා හුස්ම ගැනීමට අවශ්‍ය නම් එයට සුදුසු ස්ථානය මෙයයි.
  • (م) - මෙම අක්ෂරය අල් වක්ෆ් අල් ලාzසිම් යන්නෙහි කෙටි යෙදුමයි. මෙහි අනිවාර්‍යයෙන්ම නැවත්විය යුතුය. මෙහි නොනවතා පාරායනය කළහොත් ඉතා විපරීත හා ප‍්‍රතිවිරුද්ධ අරුතක් ගෙන දෙනු ඇත. (අන් නෂ්ර් 1:231)
  • (لا) - මෙම අක්ෂරය අල් ලාකිෆ් යන්නෙහි කෙටි යෙදුමයි. මෙහි පාරායනය නැවැත්වීම නුසුදුසුය. එසේ වුවද මෙහි නොනවත්වා පාරායනය කිරීම නිසා ප‍්‍රතිවිරුද්ධ අරුතක් ඇති වන්නේ නැති හෙයින් නැවැත්වීමටද අවසර ඇත. එසේ වුවද හුස්ම ගැනීම සඳහා මෙහි නැවැත්වීමට සිදු වුවහොත් එම ආයතයේ මඳක් ආපස්සට ගොස් නැවත පාරායනය ආරම්භ කර මෙම ස්ථානයෙහි නොනවත්වා ආයතය අවසන් කිරීම වඩාත් ප‍්‍රසන්නය. මෙම ක‍්‍රමය හඳුන්වා දෙන ලද්දේ අල්ලාමා සජාවන්දි තුමාණන් විසින් වන අතර ඔහු හඳුන්වා දුන් තවත් සලකුණු කිහිපයක් පහත විස්තර කර ඇත. (අන් නෂ්ර් 1:233)
  • (مع) - මෙම සළකුණ මුආනකා යන්නෙහි කෙටි යෙදුමයි. මෙය අදහස් දෙකක් ඇති ආයතයන්වලට යොදනු ලැබේ. මෙම සලකුණු ඇති ආයතයන් පාරායනය කරන අතරතුර මඳක් නැවැත්විය හැකි ස්ථාන දෙකක් ඇති අතර නැවැත්විය හැක්කේ එක ස්ථානයක පමණි. මෙම ස්ථාන දෙකෙහිම නොනවතා පාරායනය කිරීම තවත් විකල්පයකි. මෙවන් වැකිවලට අල් මුකබ්බලාත් යැයිද කියනු ලැබේ. මෙම පැහැදිලි කිරීම පළමුවරට ඉදිරිපත් කරන ලද්දේ ඉමාම් අබු අල් ෆද්ල් තුමා විසිනි. (අන් නෂ්ර් 1:237), අල් ඉත්කාන් 1:88)
  • (سكته) - මෙහි අරුත නිශ්ශබ්ද වීම වේ. මෙහි ශබ්දය නැවැත්විය යුතු නමුත් හුස්ම නොගත යුතුය.
  • (وقفه) - මෙම ස්ථානවල සක්තා ස්ථානවලට වඩා වැඩි වේලාවක් නවතා සිටිය යුතුය. නමුත් අලුත් හුස්මක් නොගත යුතුය.
  • (ق) - මෙය කිලා අෙලෙහිල් වක්ෆ් යන්නෙහි කෙටි යෙදුමයි. පාරායන අවස්ථාවේදී මෙහි නැවැත්විය යුතු යැයි ද නොනැවැත්විය යුතු යැයි ද විශාරද මත දෙකක් ඇති හෙයින් පාරායනය කරන්නාගේ අභිමතය පරිදි ක‍්‍රියා කළ හැක.
  • (قف) - මෙහි අරුත ‘නවත්වන්න’ යනුවෙනි. මෙහිදී නැවැත්වීමට අනුමත ඇත. නැවැත්වීමක් අවශ්‍ය නැත යැයි පොදුවේ කවුරුත් සිතන ස්ථානවල මෙම සලකුණ යොදා ඇත.
  • (صلى) - මෙය අල් වස්ලූ අව්ලා යන්නෙහි කෙටි යෙදුමයි. මෙහි නොනවතා පාරායනය කිරීම වඩා උචිතය.
  • (صل) - මෙය කද් යුසාලූ අල් වස්ලූ අව්ලා යන්නෙහි කෙටි යෙදුමයි. මෙහි ඇතැමුන් නවතා පාරායනය කිරීමද තවත් ඇතැමුන් නොනවතා පාරායනය කිරීමද සුදුසු යැයි අදහස් දක්වති.
  • (وقف النبي صلى الله عليه وسلم) - මෙම ස්ථානවල නබි මුහම්මද් ﷺ(ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ලැබේවා) තුමාණන් නවතා පාරායනය කර ඇත්තාහ.

ශුද්ධ අල් කුර්ආනය මුද්‍රණ කිරීම

මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගන්නට පෙර අල් කුර්ආනය පිටපත් කරන ලද්දේ අතින්ය. මේ සඳහා තම මුළු කාලයම කැප කළ පිරිසක් එකල සිටියහ. අල් කුර්ආනය අතින් පිටපත් කිරීම පිළිබඳ ඉතිහාසය ඉතා රසවත් එකක් වන අතර එය වෙනම ග‍්‍රන්ථයකට සෑහෙන රසබර වෘත්තාන්තයකි. මෙය එය විස්තර කිරීම සඳහා වන අවස්ථාව නොවේ.
හිජ්රි 1113 වසරෙහි මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගත් වකවානුවෙහි හැම්බර්ග් නගරයෙහි මුද්‍රණය කරන ලද පළමු අල් කුර්ආනය දාර් අල් කුතුබ් මිස්රිය්යා පුස්තකාලයෙහි අදත් සංරක්ෂණය කර තිබේ. එයින් පසු අපරදිග අල් කුර්ආන් පිටපත් කිහිපයක්ම මුද්‍රණය කරන ලද නමුත් එයට මුස්ලිම් ලෝකයෙහි වැඩි පිළිගැනීමක් ලැබුනේ නැත. එයින් පසු කි‍්‍රව 1787 රුසියානු නගරයක් වන ශාන්ත පීටර්ස්බර්ග්හි මව්ලේ උස්මාන් තුමන් අල් කුර්ආනය මුද්‍රණය කරන ලද අතර පසුව තවත් අල් කුර්ආන් පිටපතක් කාසාන්හි මුද්‍රණය කරන ලදී. එයින් පසු කි‍්‍ර:ව 1828 ඉරානයේ තෙහෙරාන් නගරයෙහි ගල් ලෑලිවල ලිතෝග‍්‍රැෆි තාක්ෂණයෙන් අල් කුර්ආන් පිටපත් මුද්‍රණය කරන ලදුව මුද්‍රිත අල් කුර්ආනය ලොව පුරා ප‍්‍රචලිත විය. (තාරිකුල් කුර්ආන් පි : 186, උලූමුල් කුර්ආන් සුබ්හි සාලිහ්, උර්දු පරිවර්තනය ගුලාම් අහ්මද් අල් හරීරි පිටුව : 142)

සමස්ත ලංකා ආගමික වියතුන්ගේ සංගමයෙන් ප්‍රකාශිත අල්කුර්ආන් අර්ථ විවරණ ග්‍රන්ථයේ ලිපියක් ඇසුරුණි. 

No comments:

Post a Comment